”අපි පුළුවන් වුණොත් මල් ඔරලෝසුව වැඩ කරන්නෙ කොහොමද කියලත් බලමු.
අපේ හිතමිතුරු සුදේශ් තම රථය පදවන අතරේ අපට කීවේය.
ලෝ ප‍්‍රකට මල් ඔරලෝසුව පිහිටා ඇත්තේ ඔන්ටාරියෝ, ක්වීන්ස්ටන්හි සර් ඇඩම් බොක් බලාගාරය අසලය.
කැනඩාවට අයත් බලාගාරයට අමතරව ඇමරිකානු ඉවුරේ ඇති මේ බලාගාරය ගැනද විස්තර දැනගැනීම වෙනුවෙන් මල් ඔරලෝසුව පිහිටි තැනට යාමට පෙර සුදේශ් අප එතැනට කැඳවාගෙන ගියේය.
නයගරා නැරඹීමට එන සංචාරකයින් කේබල් රථ ඔස්සේ ගොස් ඇමරිකානු ඉවුර ස්පර්ශ කර එන්නේ මෙතැන සිටය. නයගරා ජල දහරාවේ ශක්තියෙන් ප‍්‍රයෝජන ගන්නා ඇමරිකාවට අයත් විදුලිබලාගාරය පිහිටා ඇත්තේ මේ ඉවුර සමීපයේය. යෝධ කොන්කී‍්‍රට් බැම්මක් සහිතවූ එම විදුලිබලාගාර පරිශ‍්‍රය මිනිස් දෑතින් කළා වූ තවත් යෝධ නිර්මාණයක් ලෙස හැඳින්විය හැකි වුවද එය පරයා ගිය තවත් විශිෂ්ට නිර්මාණයක් ඊට එපිටින් දැකගත හැකිය. එය නම් ලෙවිස්ටන් සහ ක්වින්ස්ටන් ජාත්‍යන්තර පාලමය. එනම් කැනඩාවේ සිට ඇමරිකාවටත්, ඇමරිකාවේ සිට කැනඩාව වෙතත් ප‍්‍රවේශ වන මහා පාලමය. එය සැබැවින්ම විශිෂ්ට වූ යාන්ති‍්‍රක නිර්මාණයකි. කැනඩාව හා ඇමරිකාව අතර භාණ්ඩ ප‍්‍රවාහනය කෙරෙන විශාල ට‍්‍රක් රථ, ලොරි රථ මෙන්ම පෞද්ගලික වාහන සහ මගී බස්රථ අදාළ මංතීරු ඔස්සේ ධාවනය කෙරේ. ඒ ජාත්‍යන්තර යෝධ පාලමේ හැඩද බැලූ බැලූ අප ලෝ ප‍්‍රකට මල් ඔරලෝසුව පිහිටි ස්ථානයට ළඟාවී සිටියෙමු.
පුංචි පොද වැස්සක් වැටෙන්නට විය. එය මායිම් නොකොට අපි මල් ඔරලෝසුව පිහිටි තැන වෙත ඇවිද යන්නට වීමු. නයගරා උද්‍යානයේ ගමනාන්තය වූ මේ මල් ඔරලෝසුව පිහිටි උද්‍යාන භූමිය ඉතා අලංකාර ලෙස සකසා තිබේ. ඒ නයගරාවේ ඇති උද්‍යාන නිර්මාණ කටයුතු සිදුකෙරෙන පාසල වෙතිනි.
මේපල් ගස යනු කැනඩාවේ ජාතික වෘක්‍ෂයයි. මේපල් ගස් ඇතුළු විවිධ පැහැයෙන් යුතු ගස්වලින් මෙම නිම්නය අලංකාරවී තිබේ.
මල් ඔරලෝසුව සමීපයට අපි ගොස් සිටියෙමු. විවිධ රටවලට අයත් සංචාරකයින් අපට දැකගත හැකිවිය. ඒ සියලූ දෙනා මෙම මල් ඔරලෝසුව පිහිටි තැන සිට සමරු ඡායාරූප
ලබාගැනීමට යුහුසුළු වූහ.
එය කැනඩාවට ආ සංචාරකයනට සොඳුරු සැමරුමක්මය. ඊළඟට උනන්දු වුයේ මල් ඔරලෝසුව ගැන විස්තර දැනගැනීමටය.
1950 වසරේදී මෙම මල් ඔරලෝසුව නිර්මාණය කර ඇත්තේ ඔන්ටාරියෝ ජල විදුලි බලාගාරයේ සිටි කළමනාකාර හා ප‍්‍රධාන ඉංජිනේරුවරයා වූ ආචාර්ය රිචර්ඞ් ලැන්කැස්ටර් විසිනි. 1903දී පමණ ඉදිකරන ලද එඩින්බරෝ ඔරලෝසුවේ විශ්කම්බය අඩි 10ක් වුවද මෙම මල් ඔරලෝසුවේ විශ්කම්භය අඩි40කි. මල්ගස්වලින් සපිරි භූමි ප‍්‍රමාණය පමණක් පළලින් අඩි 38කි. මෙහි දක්නට ලැබෙන තවත් වඩාත් ආකර්ශනීය කොටසක් වන්නේ ඔරලෝසුව වටා ඇති අඩි 10ක් පළල අඩි 85ක් පමණ නැම්මකින් යුත් ජල උද්‍යානයයි. ඔරලෝසුව මුහුණත වැවිල්ල හෙවත් මලින් කරන ලද නිර්මාණ අලංකරණය නඩත්තු කරනු ලබන්නේ නයගරා උද්‍යානයේ සිටින උද්භිද විද්‍යාඥයින් විසිනි.
මෙම මල් ඔරලෝසුවට යොදා ගන්නා මල් සහ පැළවල ස්වරූපය වසරකට දෙවරක් වෙනස් කරයි. වසන්තයේදී වියෝලා මල් වර්ගය සමග හරිත පැහැය ද, සිසිර සමයේදී අළු පාටින්ද යුක්තව සකස් කෙරේ. ටයිම්පීස් ඔරලෝසුවක වැනි මුහුණතින් යුතු මෙම මල් ඔරලෝසුව හැඩ කිරීම සඳහා විවිධ පැළ වර්ග දහසය දහසක් පමණ යොදාගෙන ඇත. ඔරලෝසුව වටා ඇති පාත්ති කුලූනු සේ සකසා ඇති අතර එහි මුහුණත ඉලක්කම් වෙනුවට N I A G A R A P A R K S යන ඉංගී‍්‍රසි අක්‍ෂර යොදාගෙන තිබේ. මෙහි ඇති පැය කටුව දක්වන වානේ කටුව අඩි 14 1/2 කින් දිගුය. මිනිත්තු අත අඩි 17 1/2 කින්ද තත්පර කටුව අඩි 21 කින්ද දිගුය. කුලූනේ දොරටුව විවරව ඇති අවස්ථාවලදී ඝඨිකා යන්ත‍්‍රය දැක බලාගැනීමට පුළුවන. ශබ්දවාහිනි යන්ත‍්‍රයක් මගින් සෑම පැය 1/4කට වරක් මෙහි ඔරලෝසු නාදය විසුරුවා හැරේ. අශ්වබල 5කින් යුතු යන්ත‍්‍රයක් ඒ සඳහා යෙදා ගෙන තිබේ. මෙලෙසින් නිර්මාණය වී ඇති මෙම මල් ඔරලෝසුවේ පාලනය මෙන්ම නඩත්තු කටයුතු සිදුකරනු ලබන්නේ ඔන්ටාරියෝ ජල විදුලි මධ්‍යස්ථානය විසිනි. මෙම අලංකාර මල් ඔරලෝසුවේ සුන්දරත්වය රිසිසේ විඳගැනීමට උද්‍යාන අලංකරණ පාලකයින් කටයුතු යොදා තිබුණද මල් ඔරලෝසුව නම් කිසිදු කතා බහක් නැත. හෝරා කටුව, මිනිත්තු කටුව හෝ තත්පර කටුව දිව යන හඬ ඇසෙන්නේද නැත. සෑම මිනිත්තු පහළොවකට වරක් නංවන නාදය නම් ඉතා මිහිරිය.
කැනඩාව් සංචාරයකින් පසු...
රන් හිරු එළියෙන් නැහැවෙන නයගරා තුරු උයන