පත්වීම් ලිපිය ගන්න එන උනන්දුව රාජකාරියටත් තියා ගනිමු


රාජ්‍ය සේවය යනු වැටුපකුත් ලබමින් පින් රැස්කරගත හැකි පුණ්‍ය භූමියකි. පුද්ගලයකුගේ උපතටත් පෙර සිට මරණයෙනුත් පසු දක්වා සේවාව සලසන රාජ්‍ය සේවයේ උතුම් ගුණාංග අපරිමිතය. රාජ්‍ය සේවය අහස වගෙයි. නිර්මාණශීලි ගතානුගතිකත්වයෙන් බැහැර වූ නව මංපෙත් සොයන නිලදරුවන්ගේ අත්තටුවල සවිය තියන තරමට ඉගිලෙන්න පුළුවන් පරාසයක විහිදෙන රාජ්‍ය සේවය ජන ජීවිතයේ කොටසක් නොව මුළු ජනජීවිතයම වේ. එබැවින් රාජ්‍ය සේවකයාගේ සේවාව සෘජුවම මානව සංවර්ධනයටත් සමාජ සංවර්ධනයටත් සහේතුක වේ.

නවක උපාධිධාරී අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට කුළුදුලේ පැමිණි ආදරණීය සැමට ප්‍රශස්ත රාජ්‍ය සේවකයකුවීමටත් සතුටෙන් සහ අභිමානයෙන් සේවය කිරීමටත් වැටුපට ණය නැති වැටුප තමන්ට ණය වන ආකාරයේ සේවාලාභියාගේ ආදරයට ගෞරවයට පාත්‍රවන කීර්තිමත් නිලදරුවකුවීමේ මාර්ගෝපදේශයක් ලෙස මෙම සටහන තබන්නෙමි.

දශක කිහිපයක පටන් රාජ්‍ය සේවයට උපාධිධාරී අභ්‍යාසලාභීන් බඳවා ගැනීම සිදුවේ. මෙහි පවතින විශේෂත්වය විධිමත් වූ සේවාරම්භක පුහුණුවක් ලබාදීමට අදාළ බලධාරීන් හා නිලධාරීන් කටයුතු කිරීමය. එය පැසසිය යුතුම කරුණකි.

රාජ්‍ය සේවකයා දැනුම, කුසලතාව, ආකල්ප, අත්දැකීම් සහ පළපුරුද්දෙන්’ සන්නද්ධ කර වැඩබිමට සේවාවට අනුයුක්ත කිරීම කළමනාකරණයේ ඉතා වැදගත් අත්‍යවශ්‍ය වූ කරුණකි.

නිදහස් අධ්‍යාපනය, ප්‍රාථමික ද්විතීයික හා උසස් අධ්‍යාපනය ලබන අප අපේ රට දැය සමය වෙනුවෙන් සක්‍රියව දායකවිය යුතුය. මහජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයා නිරතුරුවම ඒ පිළිබඳව ගැඹුරින් සිතිය යුතුය.

අප රටේ සේවකයන් ලක්ෂ 16ක් සිටින බව අප සැම දන්නා කරුණකි. එක් රාජ්‍ය සේවකයකු දිනකට විනාඩියක් වැඩ නොකර සිටියොත් විනාඩි ලක්ෂ 16ක් විනාශ වේ. එය මානව අවුරුදු බවට පරිවර්තනය කළ විට, එක් විනාඩියක් වැඩ නොකර සිටියොත් මානව අවුරුදු 2 1/2ක් දවසකට විනාශ වේ. ලැබෙන හැම තත්ත්පරයකම තම රාජකාරිය නොපිරිහෙළා ඉටුකළ යුතුය.

රාජ්‍ය සේවකයා වෙනුවෙන් ලබාදෙන හිමිකම් වරප්‍රසාද අයිතිවාසිකම් අනුග්‍රහය සහ ප්‍රතිලාභ වෙනුවෙන් ‘බලාපොරොත්තු වන්නේ වගකීම් හා යුතුකම් පමණි’. තමන්ගේ හෘද සාක්ෂියට එකඟව තම රාජකාරි ඉටුකිරීම ඉතා වැදගත් බව අමුතුවෙන් කිවයුතු නොවේ.

එක් රාජ්‍ය සේවකයකු දිනකට එක හාෆ්ෂීට් එකක් නැතිනම් එක ඒ-4 කොළයක් නිකරුණේ භාවිත කළොත් දිනකට කොළ ලක්ෂ 16ක්. ඒ කියන්නේ කොළ 500 පැකට් 32000ක් අපතේ යනු ඇත. පැකට් එකක මිල රු. 900යි. (දළ වශයෙන්) පැකට් 32000ක මිල රු. 28,80,000/-කි. අවුරුද්දට වැඩකරන දින 200ක් සඳහා මිලියන 576ක් වැය වනු ඇත.

මේ මුදලින් ලක්ෂ 50ක් වටිනා ගෙවල් 100ක් පමණ දුප්පත් මිනිසුන්ට සාදා දිය හැකිය.

ඒ නිසා රාජ්‍ය සේවකයන් වන අප සම්පත් අරපිරිමැස්මෙන් භාවිත කිරීමට සිතට ගත යුතුය. ගෙදර දොරේ තමන්ගේම සම්පත් ආරක්ෂා කරනවාටත් වඩා වැඩි වගකීමකින් හා වගවීමකින් යුතුව රාජ්‍ය සේවයට අදාළ හා අයත් සම්පත් සුරැකීම ආරක්ෂා කිරීමට සියලුම රාජ්‍ය සේවකයන් තම දැඩි අවධානය යොමු කළ යුතුයි.

රාජ්‍ය සේවයට පැමිණෙන නවකයන් ඔවුන්ට පත්වීම් ලිපි ලබාදීමට කැඳවූ විට පෙ.ව. 9.00ට කැඳවූයේ නම් කලින්ම ඇති බසයෙන් හෝ දුම්රියෙන් පැමිණ අදාළ ස්ථානයට පැයකට දෙකකට කලින් පැමිණෙන්නේ ඉතා කැමැත්තෙනි, ආශාවෙනි. කිසිම කෙනෙක් කිසිම හේතුවක් කියමින් ප්‍රමාද නොවේ. ඉතා කැමැත්තෙන් ආශාවෙන් නවකයන් ලෙස පත්වීම් ලැබීමට දහසකුත් එකක් බලාපොරොත්තු සහිතව එන ඔබ විශ්‍රාම ගන්නා දින දක්වාම එකී කැමැත්ත, ආශාව සමඟ රැකියාවට පැමිණීම ඉතා වැදගත්ය. රැකියාව හැම දෙනාගේම විනෝදාංශය විය යුතුය. තමන්ගේ රැකියාවට සහ රැකියාව කරන ස්ථානයට ගෞරව කළ යුතුය. ආදරය, සෙනෙහස දැක්විය යුතුය.

කොවිඩ්-19 කාලයේ නිවසේම රැඳී සිටි රාජ්‍ය සේවකයාට තම මුළු වැටුපම ලැබුණි. කුලී වැඩ කරන්නන්, කම්කරුවන්, ස්වයංරැකියාවල නිරතවන්නන් සහ ව්‍යාපාරිකයන් ආදීන්ට පවා කොවිඩ් වසංගත සමයේ මාසික ආදායම් නැතිවීමෙන් විශාල ජීවිත අරගලයක යෙදීමට සිදුවිය. රාජ්‍ය සේවකයාට එවැනි ගැටලුවලට මුහුණ පෑමට සිදු නොවුණු බව අප සියලුම දෙනා දන්නා කරුණකි. එපමණකුදු නොව නායයාම්, සුළි සුළං, ගංවතුර, සුනාමි තත්ත්වයන්ගෙන් කවරාකාර වූ ස්වභාවික ආපදාවකදී ද රාජ්‍ය සේවකයාගේ වැටුප ඔවුන්ට ලැබුණි.

හදිසි නීතිය ඇඳිරි නීතිය පැනවූ අවස්ථාවල පවා ඔවුන්ගේ වැටුප් ගෙවනු ලැබීය. එනිසාවෙන්ම අප රාජ්‍ය සේවය පිළිබඳව තමන් හදාවඩාගත් ආදරණීය දෙමව්පියන්ට තරමටම ආදරය කළ යුතුය. සෙනෙහෙවන්ත විය යුතුය.

නවක පත්වීම් ලබා ඔබ, රාජ්‍ය සේවයේ යථෝක්ත ලක්ෂණ සහිතව සේවය කරන නිලදරුවන් දහදෙනෙකු පිළිබඳව සොයා බලන්න. ඔවුහු නිරෝගී හොඳ දරු පවුල් සහිත ආදරණීය සොඳුරු ජීවිත ගත කරන අය වෙති. රාජ්‍ය සේවය කෙරෙහි යහපත් ආකල්පවලින් තොරව කටයුතු කරන අයවලුන්ගේ ජීවිත විමර්ශනයට ලක් කරන්න. ඔවුන්ට විවිධ රෝගාබාධ, පවුල් ප්‍රශ්න, නඩුහබ වැනි බොහෝ ප්‍රශ්න සමග ජීවත්වීමට සිදුව ඇති බව නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇත. ඊට හේතුව සොබාදහමේ විශ්ව ශක්තියයි. අප වපුරන දේට අස්වනු පමණක් අපට නෙළාගත හැකිය. අප වී වැපුරුවොත් බත් අනුභව කළ හැකිය. බජිරි හෝ ගොජිරි වපුරා බත් කෑ නොහැකිය. ඔබේ සේවාවද එසේමය. ඔබ අර්ථාන්විත රාජ්‍ය සේවකයකු වූවොත් මහජනතාව සේවාලාභියා ඔබට පෙරළා ආදරය කරනු ඇත. ගරු කරනු ඇත. ආශිර්වාද කරනු ඇත. එවැනි නිලධාරීන්ට ජනතාව ආමන්ත්‍රණය කරන්නේ ‘අපේ’ යන විශේෂණ නාමය මුලට යොදමිනි. අපේ මහත්තයා, අපේ නෝනා වන්නේ එවිටය. එයින් ලැබෙන ආත්ම තෘප්තිය, රැකියා තෘප්තිය මිල මුදලින් හෝ කිසියම් වූ භෞතික දෙයකින් මිනිය නොහැකිය. එම නිරාමිස සතුට විඳි රාජ්‍ය සේවකයකු එය කිසිදා අත්නොහරිනු ඇත. මිනිසුන් වෙනුවෙන් සේවය කර ලබන සැබෑ සතුට කිසි දෙයකට නොදෙවෙනිය. එහි ඇති අපූර්වතම සොඳුරු බව විඳ බලන්න ඔබේ ජීවිතය මොනතරම් නම් අර්ථපූර්ණ වේද යන වග. එය අත්විඳින්න. එසේ ලැබෙන සොමි ගුණය, සිසිලස ඔබේ ජීවිත ද සුඛිත මුදිත කරනු ඇත. නවක නිලධාරීන් වශයෙන් රාජ්‍ය සේවයට පිය මනින ඔබට ඵලදායි රාජ්‍ය සේවකයෙකුවීමට යතුරු 5ක් අවශ්‍ය වේ.

1. දැනුම
දැනුම ආකාර තුනකින් ලැබේ.
විධිමත් දැනුම – සම්මන්ත්‍රණ, සැසි, වැඩමුළු ආදියෙන් ලබන දැනුම, නොවිධිමත් දැනුම – සමාජය නමැති විශ්වවිද්‍යාලය කියවා ලබන දැනුම.
වඩාත් වැදගත් වන්නේ නොවිධිමත් දැනුමයි. මිනිසුන්ගේ දුක, කඳුළ, වේදනාව සහ ඔවුන්ගේ සැබෑ ප්‍රශ්න හඳුනාගත හැක්කේ නොවිධිමත් දැනුම මනාව ළඟා කරගෙන ඇත්තේ නම් පමණි.

2 කුසලතා
මානව සබඳතා, අන්තර් පුද්ගල සබඳතා ගොඩනැගීමේ කුසලතාව, සන්නිවේදන කුසලතාව, තාක්ෂණික කුසලතාව, මානුෂීය කුසලතාව (මානව ගුණාංග හා මානව ධර්මතා) ක්ෂණික, නිවැරදි, විධිමත් තීරණ ගැනීමේ හැකියාව. ප්‍රශ්නයක සැබෑ ස්වරූපය හඳුනාගැනීමේ විග්‍රහ කරගැනීමේ විශ්ලේෂණය සහ විමර්ශනය කිරීමේ හැකියාව, මනා සැලසුම් කිරීමේ සංවිධානය කිරීමේ පරිපාලනය කිරීමේ, අධීක්ෂණය කිරීමේ හැකියාව.

3. ආකල්ප
ධනාත්මක සිතිවිලි අභියෝග අවස්ථාවක් කරගැනීමේ හැකියාව, සෑම අඳුරු වළාවකම රිදී රේඛාවක් ඇති බව විශ්‍වාස කිරීම, සතුට පරම ධනය බව තරයේ විශ්‍වාස කිරීම, ආත්මාභිමානය, හීනමානයෙන් හා අභිමානයෙන් තොර අභිමානය, දරාගැනීමේ හැකියාව සොඳුරු සුන්දර බව, ප්‍රියමනාප බව යහපත් ආකල්ප ඇති අයෙකුගේ ප්‍රමුඛ ලක්ෂණ වේ.

4. අත්දැකීම්
රාජ්‍ය නිලධාරියකුට අත්දැකීම් ඉතා වැදගත් වේ. අහන, දකින, ඇසෙන, පෙනෙන හැම දෙයකින්ම ඉගෙන ගත යුතුය. කුඩා කල අසා පුරුදු, දැකපුරුදු, හුරුපුරුදු, පළපුරුදු, ගුරුපුරුදු වැනි පුරුදු විශාල ප්‍රමාණයකින් ගොඩනැගෙනවා සේම රාජ්‍ය සේවයේ යහපත් ධනාත්මක දෑ ජීවිතයට එකතු කරගත යුතුය. ජ්‍යෙෂ්ඨ අත්දැකීම් සහිත පළපුරුදු සැමගේ දැනුම අත්දැකීම් හරහා දැනුවත් විය යුතුය. සිද්ධි අධ්‍යයනයක් තුළ ලැබිය හැකි අත්දැකීම් අපරිමිතය. වැඩ කිරීම තුළ ලබන අත්දැකීම් හරහා අත්පත් කරගත හැකි දැනුම හා කුසලතා ද අපමණය.

5. පළපුරුද්ද
අත්දැකීමට වඩා එහාගිය දෙයකි. පළපුරුද්ද. තමා ලබන අත්දැකීම් භාවිතයෙන් වැඩකිරීම තුළ අත්පත් කරගත් දේ පළපුරුද්දයි. යකඩයක් තිරිහන් කර තලා කැති, උදළු ඇතුළු නිර්මාණ කරනවා වගේ වැඩ පරිසරයේ තැලෙන පොඩි වෙන කොට පරිණත බව ඇති වේ.

නවකයන් ලෙස රාජ්‍ය සේවයට සපැමිණෙන ආදරණීය ඔබ නිරතුරුවම ප්‍රශස්ත නිලදරුවකුවීමට අදිටන් කරගන්න. ඒ සඳහා සතපහක් වියදම් වන්නේ නැත. අවශ්‍ය වනුයේ හිතහදාගැනීම පමණි. හැමගේම ආදරයට පාත්‍රවන නිලදරුවකුවීම කොපමණ භාග්‍යයක්ද යන්න වැඩ පරිසරය තුළ ඔබට දැනේවි. අපේ රටේ පළාත් 9, දිස්ත්‍රික්ක 25, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331, ග්‍රාම නිලධාරී වසම් 14022  30,000කට අධික ගම් ගොඩැලිවල මිලියන 21.3ක් වන අපේ ජනතාවට සේවය කිරීමට ඔබට ලැබුණු මහඟු අවස්ථාවක් ලෙස මෙය සලකන්න.
මිනිසුන්ගේ බොහෝ ගැටලු විසඳීමට වැදගත්ම කාරණයක් නම් හොඳින් ඔවුන්ට ඇහුම්කන්දීමයි. සේවාලාභියාට සේවය කිරීමේදී අනතිමානි ගුණය ද ඉතා වැදගත් වේ. අපි හානවා පෝරුගානවා වගේ බර වැඩ රාජ්‍ය සේවයේ නැත. ඇතැම්විට දවසකට ලිපි කිහිපයක් සම්බන්ධයෙන් කටයුතු කිරීම පමණක් වීමට පුළුවන. හදවතින් මනසින් හා බුද්ධිය පාවිච්චි කර ප්‍රායෝගික විසඳුම් අපේ මිනිසුන්ට ලබාදිය යුතුය. සේවාලාභියාගේ කාලය ඉතා වටිනා බව පූර්වයෙන් විශ්‍වාස කළ යුතුය. වැලිගොඩදාන අයෙකු, කුලී වැඩක් කරන අයෙකු එදිනෙදා හරිහම්බ කරන අයෙකු යම් සේවාවක් ලබාගැනීමට අපගේ කාර්යාලවල දින ගණන් රස්තියාදු වන්නේ නම් එය කොතරම් අපරාධයක්ද?
රාජ්‍ය සේවයේ සේවය පදනම් වන්නේ බොහෝවිට ලිපි මඟිනි. එබැවින් ලිපි හුදෙක් කඩදාසියක් පමණක් ලෙස අපි නොදැකිය යුතුයි. එය ජීවිතයක් පවුලක්, පරම්පරාවක කතාවක් විය හැකියි. අප වෙත ලැබෙන ලිපියක් ලේ, මස්, ඇට, නහර සහිත දෙයක් යන හැඟීමෙන් සැලකිය යුතුය.
පෙර රාජ්‍ය සේවයේ, එනම් අසූවේ දශකයට පෙර තුන්දා නීතිය, හත්දා නීතිය ලෙස ලිපිවලට පිළිතුරු යැවීමේ ප්‍රමිති පැවතී ඇත. තුන්දා නීතිය යනු ලිපිය ලැබී දින තුනක් ඇතුළත අවසාන පිළිතුරක් යැවිය නොහැකි නම් අතුරු පිළිතුරක් හෝ ලියුම්කරු වෙත යැවිය යුතුය. හත්දා නීතිය යනු දින හතකින් අනිවාර්යෙන් ලියුම්කරු වෙත අවසන් පිළිතුරු යැවිය යුතුය. මොන තරම් ශික්ෂණයක්ද?

නිවැරදි, විධිමත් දේ කරන්න කිසිම විටෙක බිය විය යුතු හෝ පසුබට නොවිය යුතුය. යටහත් සේවකයන් ලෙස මහජනතාවට සේවය කළ යුතුය. සේවාලාභියාට සේවය කළ යුතුය. දුරකතන ඇමතුමකට පිළිතුරු දීම පවා මානව දයාවෙන් කළ යුතුය. ලේ ඥාතීන්ට කතා කරන්නාක් මෙන් සේවාලාභියා ඇමතිය යුතුය. ඒ සඳහා ස්වයං විනය ස්වයං අභිප්‍රේරණය වර්ධනය කරගත යුතුය.

විශ්‍රාම වැටුප් සහිත සුරක්ෂිත රැකියා අවස්ථාවක් ලබා අපි සේවා ලාභියන් අපේ මහජනතාවගේ ඉල්ලීම් හැකි හැම විටම ඉටු කරදීමට උත්සුක විය යුතුයි. නීති, රෙගුලාසි ප්‍රකාරව කිසිම ආකාරයකින් ඉටු කළ නොහැකි දෙයක් වුවත් ඉටුකළ නොහැකි බව හේතු සාධක සහිතව, පිළිගත හැකි පරිදි සරලව වටහා දිය යුතුයි. රාජ්‍ය නිලධාරීන් එසේ කටයුතු කිරීම තුළින් රාජ්‍ය නිලධාරියාත් රාජ්‍ය සේවයත් පැසසීමට ලක්වනු ඇත. පැසසීම නැතත් අවම වශයෙන් අපකීර්තියට ලක් නොවනු ඇත.
රාජ්‍ය නිලධාරීන් වැඩ කරන ස්වභාවය අනුව හතරාකාර වේ.
හඬ පමණක් ඇති වැඩ නොමැති
වැඩ පමණක් ඇති හඬ නොමැති
හඬ හෝ වැඩ නොමැති
හඬත් වැඩත් ඇති

ඔබ අනිවාර්යයෙන්ම හඬත්, හැඩත්, වැඩත් යන ආකාරයෙන් සේවය කළ යුතුයි. කරනු ලබන රාජකාරියට වටිනාකමක් ලැබෙන්නේ එවිටයි.

හැමවිටම තමන්ට පැවරෙන විෂයයට අමතරව තමන්ගේ දැනුම, කුසලතාව, හැකියාව රාජ්‍ය සේවයට දායක කළ හැකි හැම අවස්ථාවකම එම සේවය නොපිරිහෙළා ලබාදිය යුතුය. විවිධ අය විවිධ දේවලට දස්කම් දක්වයි. පරිගණක භාවිතය, විදුලි - ජල සම්පාදන වැඩ, දේශන කිරීමේ හැකියාව, නිවේදන කටයුතු ආදි විවිධ හැකියාවන් තමා සතුවිය හැකිය. ඔබට එකතු කළ වටිනාකමක් එයින් ලැබෙන අතර ආයතනයට ද ඔබ නැතිවම බැරි චරිතයක් බවට පත්වනු ඇත.

(***)