පිලිපීන ජනපති මත් විරෝධී සටන තද කරයි


මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය කාලයේදී දිගින් දිගටම අවධාරණය කළේය. මත්ද්‍රව්‍ය ජාවාරම මැඬීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

එසේ තිබියදී ජනාධිපතිවරයා පසුගිය සමයේදී සිංගප්පූරුවේ සහ පිලිපීනයේ සංචාරයක නිරත විය. සිංගප්පූරුව සහ පිලිපීනය යනු මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව දැඩි පියවර ගන්නා රටවල් ලෙස ප්‍රකටය. පසුගිය දිනෙක ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහිම් සෝලි සමඟ ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මත්ද්‍රව්‍ය ජාවාරම මැඬීම සඳහා එකඟතාවක් ඇති කරගත් බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

පසුගිය වසර තුන හතරක කාලයේදී කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය නිෂ්පාදනය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවත් ආසියාව සහ අප්‍රිකාව කොකේන් භාවිතය ඉහළ ගොස් ඇති කලාප ලෙසත් හුවමාරු මධ්‍යස්ථාන ලෙස නැගී එමින් තිබෙන බවත් එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ සඳහා වූ කාර්යාලය පසුගිය වසරේ නිකුත් කළ වාර්තාවක දැක්විණි.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කතා බහ කිරීමේදී සහ අවධානය යොමු කිරීමේදී ඉකුත් වසර දෙක තුනේදී වැඩි අවධානයක් යොමුවූයේ පිලිපීනයටය. පිලිපීන ජනාධිපතිවරයා මත්ද්‍රව්‍යයට එරෙහිව යුද ප්‍රකාශ කිරීම ඉන් මූලිකත්වය ගත්තේය. රොද්‍රිගෝ ඩුටාර්ටේ පිලිපීනයේ ජනාධිපති ධුරයට පත්වූයේ 2016 වසරේ ජූනි 22 වැනිදාය. ඊට පෙර ඔහු ඩාවෝ නුවර නගරාධිපති ධුරය හෙබවීය. ඔහු අවස්ථා හතකදී ඩාවෝ නුවර නගරාධිපති ධුරය හෙබ වූ අතර නගරාධිපති ධුරය හෙබ වූ වසර ගණන 22ක් විය.

ඩුටාර්ටේ ජනාධිපති ධූරයට පත්වූයේ මත්ද්‍රව්‍ය ජාවාරම පිලිපීනයෙන් තුරන් කරන බවට හා අපරාධකරුවන් ඝාතනය කරන බවට පොරොන්දු දෙමිනි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් මරාදමන්නැයි ඔහු මැතිවරණ වේදිකාවල පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්විණි. ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව පිලිපීන ජනාධිපතිවරයා මත්ද්‍රව්‍යයට එරෙහිව යුද්ධයක් ප්‍රකාශ කළේය.

රොද්‍රිගු ඩුටාර්ටේ බලයට පත්වූයේ වසර හයක් සඳහාය. ඔහුගේ නිල ධුර කාලය අවසන් කිරීමට නියමිතව ඇත්තේ 2022 වසරේදීය. මේ වනවිට ඔහුගේ ධුර කාලයෙන් වසර තුනකට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇති අතර එම කාලයේදී මත්ද්‍රව්‍ය ජාවාරමට සැකකරන පුද්ගලයන් 6000කට ආසන්න පිරිසක් ඝාතනය කර ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. වසර තුනකට ආසන්න කාලයේදී ඩුටාර්ටේගේ පාලනය යටතේ 12,000කට ආසන්න පිරිසක් ඝාතනය කර ඇතැයි නිව්යෝක් නුවර පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන ‘හියුමන් රයිට්ස් වොච්’ මානව හිමිකම් නිරීක්ෂණ සංවිධානය උපුටා දක්වමින් නිව්යොක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබිණි.

පසුගිය වසර දෙකේදී ඝාතනය වූ පිරිස4,500කට ආසන්න බවත් ඔවුන් සියලු දෙනා මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් හෝ මත්ද්‍රව්‍ය

ජාවාරම්කරුවන් යැයි ද මෙහෙයුම්වලදී නීත්‍යනුකූල ලෙස බලය භාවිත කළේ යැයි ද පිලිපීන පොලිසිය සඳහන් කළේය. කෙසේ නමුත් පිලිපීන ජනාධිපතිවරයාට බටහිර රටවල් රැසකින් මෙන්ම මානව හිමිකම් සංවිධාන රැසකින් චෝදනා එල්ල වී තිබේ. හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පිලිපීන ජනාධිපතිවරයාට එරෙහිව චෝදනා දෙකක් ඉදිරිපත් වී තිබේ.

“මම හමුදාවට කිව්වා. මොකක්ද මගේ වරද ? මම එක පෙසෝවක්වත් හොරකම් කරලා නැහැ. මගේ එකම පව අනීතික ඝාතන (නෛිතික ක්‍රියාවලියක් හෝ අනුමැතියක් නොමැතිව රජයේ හෝ ආණ්ඩුවේ ආයතන හෝ පුද්ගලයන් හෝ කරන ඝාතන) පමණයි” යනුවෙන් පිලිපීන ජනාධිපතිවරයා පසුගිය සැප්තැම්බර් 27 වැනිදා ප්‍රකාශ කළේය.

රට පාලනය කරන ආකාරය පිළිබඳව සෑහීමකට පත් නොවන්නේ නම් ජනාධිපති ධුරයෙන් ඉවත් කරන්නැයි තමන් රටේ හමුදාවට සහ පොලිසියට අභියෝග කරන බව ද පිලිපීන ජනාධිපතිවරයා පැවැසීය. පිලිපීන ජනාධිපතිවරයා තම පාලනය යටතේ ඝාතන සිදු වූ බව ප්‍රකාශ කළ හෝ පිළිගත් පළමු අවස්ථාව එය විය. කෙසේ නමුත් තමන්ගේ නියමිත ධූර කාලය අවසන්වන තෙක් මත්ද්‍රව්‍යයට එරෙහි යුද්ධය

ක්‍රියාත්මක කරන බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඝාතනය කරන බවත් පිලිපීන ජනාධිපතිවරයා පවසා ඇත. නගරාධිපති ධුරය සමයේදී තමන් විසින්ම අපරාධකරුන් ඝාතනය කළ බව පිලිපීන ජනාධිපතිවරයා ව්‍යාපාරිකයන් පිරිසක් හමු වේ පැවැසූ බව ‘ටයිම්’ සඟරාව 2017 දෙසැම්බර් මාසයේදී වාර්තා කර තිබිණි. පිලිපීන ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතුබවත් ඊට ප්‍රතිචාර දක්වමින් එවකට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරයා වශයෙන් කටයුතු සෙයිද් රාද් අල් හුසේන් කුමරු ඉකුත් දෙසැම්බර් 20 වැනිදා ප්‍රකාශ කර තිබිණි.

කෙසේ නමුත් මත්ද්‍රව්‍ය විරෝධී පොලිස් මෙහෙයුමකදී වයස අවුරුදු 20ට අඩු තරුණයන් තිදෙනකු ඝාතනය වීමත් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි මෙහෙයුම් තාවකාලිකව නවතා දැමීමට පිලිපීන ජනාධිපති ඩුටාර්ටේ පියවර ගත්තේය. එහෙත් එම මෙහෙයුම් නැවත වරක් ක්‍රියාත්මක විය.

මත්ද්‍රව්‍යයට එරෙහිව යුද්ධයක් දියත් කරන බව පවසමින් පිලිපීන ජනාධිපතිවරයා හිතුමතේ ඝාතන කිරීමට ඉඩ දී ඇති බවත් විපක්ෂ ක්‍රියාකාරීන්, වීදි දරුවන්, තරුණයන්, සුළු අපරාධකරුවන් ඇතුළු පිරිස් ඝාතනය කරන බවටත් රොද්‍රිගෝ ඩුටාර්ටේ චෝදනා එල්ල වී තිබේ. විපක්ෂ ක්‍රියාකාරීන්ගෙන් මෙන්ම පිලිපීන සෙනට් සභාවේ විපක්ෂයෙන්ද ඔහුට දැඩි චෝදනා එල්ල වී තිබේ. මත්ද්‍රව්‍ය ජාවාමට එරෙහි මෙහෙයුම්වලට මුවා වී පොලිසිය තම හිතු මනාපයට ඝාතන කරන බවත් බොරු වැටලීම් කරමින් ජනතාවගෙන් අල්ලස් ගන්නා බවටත් චෝදනා එල්ල වී තිබේ. පිලිපීන පොලිසිය එක් අවස්ථාවකදී සේවා ස්ථානයක් වටලා එහි සිටි පිරිස කාමරයක කොටු කර තැන තැන මත්ද්‍රව්‍ය සඟවා එහි සේවය කළ පිරිසට චෝදනා කළ පුවතක් හොංකොං පදනම් කරගනිමින් ප්‍රකාශයට පත්වන ‘සවුත් චයිනා මෝනිං පොස්ට්’ පුවත්පත වාර්තා කර තිබිණි. එම සිදුවීමේ වීඩියෝ පටද ප්‍රසිද්ධියට පත්වූ අතර පිලිපීන සෙනට් සභාව ඒ සම්බන්ධයෙන් පොලිසියේ ප්‍රධානියෙගන් කරුණු විමසීක් ද කළේය.

ඒ සම්බන්ධයෙන් විමර්ශන කරන බව ද වැරැදිකරුවන් පොලිසියෙන් ඉවත් කරන බව ද එවකට පිලිපීන ජාතික පොලිසියේ ප්‍රධාන අධ්‍යක්ෂ රොනල්ඞ් ඩෙලා රෝස් පැවැසීය. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ යැයි බොරු චෝදනා කරමින් පොලිසිය අහිංසක මිනිසුන් අත්අඩංගුවට නොගැනීමට නම් අල්ලස් ගන්නා බවටත් පිලිපීන පොලිසියට චෝදනා එල්ල වී තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ යැයි බොරු චෝදනා කරමින් සහ ඒවාට සම්බන්ධ යැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන නිදහස් කිරීමට පොලිසිය පෙසෝ 200,000ක් ඉල්ලා ඉන් අනතුරුව පෙසෝ 30,000කට නිදහස් කිරීමේ සිදුවීම් රැසක් සම්බන්ධයෙන් පිලිපීන පොලිසියට චෝදනා එල්ලවී තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව දියත් කර තිබෙන මෙහෙයුම්වලට වසං වී වැරැදි කරන ලද පොලිස් නිලධාරීන් 1,600කට ආසන්න පිරිසකට එරෙහිව පියවර ගෙන ඇතැයි ද ඇතැම් අය සේවයෙන් ඉවත් කර ඇතැයි ද පිලිපීන ජාතික පොලිසියේ අධ්‍යක්ෂ ජෙනරාල් ඔස්කාර් අල්බයාල්දේ පැවැසීය. මානව හිමිකම් කඩ කරන ලද තවත් 674 දෙනකුට එරෙහිව පියවර ගෙන ඇතැයි ද හෙතෙම කියා තිබුණි.

මත්ද්‍රව්‍ය ජාවාරමට මුවා වී පිලිපීන පොලිසිය සහ ආරක්ෂක අංශ බොහෝ අපරාධ සිදු කරන බවට චෝදනා එල්ල වී තිබේ. පැහැර ගැනීම්, ඝාතන, දූෂණ හා වංචා, ලිංගික අපහරණය ආදී චෝදනා රැසක් පොලිසියට එල්ල වී තිබේ. පිලිපීන ජනාධිපතිවරයාට ජාත්‍යන්තරයේ දැඩි පීඩනයක් මෙන්ම චෝදනා රැසක් ද එල්ල වී තිබේ. ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඔහුට එරෙහිව චෝදනා දෙකක් එල්ල වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන කෙරෙන බව ද වාර්තාවේ. එවැනි තත්ත්වයක් මත ‘ද හේග්’ නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණ ස්ථාපිත කිරීමේදී අත්සන් කරන ලද ජාත්‍යන්තර ප්‍රඥප්තියකින් පිලිපීනය ඉවත් කරගැනීමට ජනාධිපති ඩුටාර්ටේ පියවර ගත්තේය. 

මේ කුමන චෝදනා එල්ල වුවත් මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව දියත් කරන මෙහෙයුම නොනවත්වා ක්‍රියාත්මක කරන බව පිලිපීන ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ. “මම මෙය නවත්වන්නේ නැහැ. මම මේක කියලා තියෙනවා. මම මගේ ජීවිතය පරදුවට තියලා තියෙන්නේ. ඒ වගේම ජනාධිපති ධුරයත්. ඕනෑම වේලාවක මට එය නැතිවෙන්න පුළුවන්. ඒ මට ගෞරවයක්. මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටන දිගටම ගෙනි යනවා” පිලිපීන ජනාධිපතිවරයා පසුගිය සැප්තැම්බර් මාසයේදී ජනාධිපති මන්දිරයේදී රජයේ ප්‍රධානීන් හමුවෙමින් ප්‍රකාශ කර තිබුණි.

හර්ෂණ තුෂාර සිල්වා

විදෙස් වාර්තා ඇසුරිනි

ඡායාරූපය රොයිටර්