ප‍්‍රභාකරන් හිටියේ පුදුකුඩුඉරිප්පු. කරුණා ඒක දැනගෙන හිටියත් අපිට කීවේ නෑ.
අපිට අවශ්‍ය තොරතුරු බුද්ධි අංශයෙන් ලැබුණා. කරුණා අම්මාන් දුන්න දෙයක් නෑ.
කේ.පී. කරපු දේවල් ත‍්‍රස්ත ක‍්‍රියා නොවෙයි කියල නීතිපති කියනවා නම් නීතිපතිත් ත‍්‍රස්තවාදියෙක් කියල හඳුන්වන්න වෙනවා.
ෆීල්ඞ් මාර්ෂල් තනතුරේ හිමිකම් මට තවම ලැබෙන්නේ නෑ.
යුද්ධය ජයග‍්‍රහණය කර ගැනීමට කරුණා අම්මාන්ගෙන් කිසිදු සහායක් ලබා නොගත් අතර එවැනි අවශ්‍යතාවක් නොවූ බවද ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක, ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කීය.
මීට අමතරව කේ.පී.ට ත‍්‍රස්ත චෝදනා නොමැති බවට නීතිපතිවරයා කරන ප‍්‍රකාශය පිළිබඳව නීතිපතිවරයා වහාම තනතුරෙන් ඉවත් කර ඔහු මානසික රෝහලකට යැවිය යුතු බවද ඉරිදා ලංකාදීපය සමග පැවැති සාකච්ඡා වේ දී සරත් ෆොන්සේකා මහතා කීය.
සරත් ෆොන්සේකා මහතා ඉරිදා ලංකාදීප පත‍්‍රය සමග පැවැත් වූ සාකච්ඡුාව මෙසේය.
ප‍්‍රශ්නය:- කරුණා අම්මාන් කියල තියෙනවා ප‍්‍රභාකරන් සියදිවි නසා ගන්න ඇති කියලා.
පිළිතුර:- ඒක සම්පූර්ණ අසත්‍යයක්. එයා හිතෙන් මවා ගත්ත දෙයක්. කරුණා අම්මාන්ට ඒ යුද්ධයෙ සිදුවූ දේවල් ගැන කිසිම දැනුමක් නැහැ. ඒකාලෙ එයාගෙ ජීවිතය බේරගන්න බැරුව හිටියේ. මම හමුදාපති වෙනකොටත් එයා ජීවිතය බේරගන්න සැඟවී සැඟවී සිටියේ. එයාගෙ කට්ටිය ඒ වනවිට තැන් තැන්වල මැරුම් කෑවා.
කොළඹදීත් මැරුම් කෑවා. රජය ගත්ත තීරණයක් මත අපි එයාට ආරක්ෂාව සැපයුවා. කොළඹ ස්ථානයක රඳවා තියල හමුදාවෙ ආරක්ෂාව දුන්නා. ඔහුටත්, පිල්ලෙයාන්ටත් බුද්ධි අංශයෙ ආරක්ෂාව දුන්නේ. එහෙම කළේ එල්ටීටීඊයෙන් අනතුරක් තිබුණ නිසයි. කරුණා අම්මාන්ට ආරක්ෂාව දෙද්දී ආරක්ෂාවෙ කොටසක් හැටියට එයාට පිටලෝකයත් එක්ක සම්බන්ධකම් පවත්වන්න දුන්නේ නැහැ. ආරක්ෂක හේතු මත එහෙම දෙන්න බැහැ. අඩු වශයෙන් දුරකතනයක් පාවිච්චි කරන්නවත් දුන්නේ නැහැ. නිදහසේ හිටියා. යුද්ධයට එයා එක්ක සම්බන්ධාතවක් පැවැත්වූයේ නැහැ. එයා දන්නෙත් නැහැ.
ප‍්‍රශ්නය:- සටන් බිම ගැන තොරතුරු දුන්නාද?
පිළිතුර:- නැහැ. අඩුගානෙ නැගෙනහිර එල්ටීටීඊ මූලස්ථානය තිබුණු තැන ගැනවත් කිව්වේ නැහැ. තොප්පිගල තොප්පිගල කීවාට ඒක පර්වතයක්. බටහිර මඩකළපුව ප‍්‍රදේශයෙ නාරකමුල්ල කියල කඳුවැටියක් තිබුණා. එල්ටීටීඊ මූලස්ථාන ඔක්කොම තිබුණේ නාරකමුල්ලෙ. කරුණා අඩුගානේ අපට ඒවාවත් කිව්වේ නැහැ. ප‍්‍රභාකරන් හිටියෙ පුදුකුඩුඉරිප්පුවල. කරුණා ඒක දැනගෙනත් හිටියා. එයා පුදුකුඩුඉරිප්පුවල දී ප‍්‍රභාකරන් හමුවෙලත් තියෙනවා. ප‍්‍රභාකරන් අවුරුදු 15ක් විතර එතැනි ඉඳල තියෙනවා. කරුණා අම්මාන් අපට ඒකවත් කියල තිබුණේ නැහැ.
එතැන මරාගෙන මැරෙන කොටි පුහුණු කඳවුරක් තිබුණා. පිහිණුම් තටාකයක් තිබුණා. ක‍්‍රීඩාගාර පහසුකම් තිබුණා. කරුණා අම්මාන් ඒව ගැනවත් කියල තිබුණේ නැහැ.
ප‍්‍රශ්නය:- කරුණාගෙන් තොරතුරු ඇහුව ද?
පිළිතුර:- අපි අහන්න ගියේ නැහැ. අපිට තොරතුරු ලබා ගැනීමේ ප‍්‍රශ්නයක් තිබුණේ නැහැ. අපේ බොහොමයක් බංකර්වලින් ඔළුව උස්සපු හැටියේ එහා පැත්තෙන් ඉන්නේ එල්ටීටීඊය. අපි යුද පෙරමුණේ සටන් කළා. වෙනත් දේවල් අපට අවශ්‍ය නැහැ.
ප‍්‍රශ්නය:- යුද්ධය පැවැත්වෙන කාලෙ දී ඔබ කරුණා අම්මාන් හමුවී කතා කරල තියෙනවද?.
පිළිතුර:- ඔව්. කතාකරල තියෙනවා. ඒ යුද්ධය ගැන කතා කරන්න නොවෙයි. එයාගේ පෞද්ගලික දේවල් ඉටු කර ගන්න. ප‍්‍රභාකරන් දිවි නසා ගත්ත කියලා කියන්න එයාට කොහෙත්ම පුළුවන්කමක් නැහැ. ප‍්‍රභාකරන්ගෙ හිස්කබලේ කොටසක් ගැලවිලා ගිහිල්ල තිබුණේ. පිස්තෝලයක් වගේ දෙයකින් වෙඩි තියාගත්ත නම් ඔය වගේ හිස් කබලෙන් කෑල්ලක් ගැලවිල යන්නේ නැහැ. තමන් පිස්තෝලයකින් වෙඩි තියා ගත්ත නම් වෙඩි වැදුන තැන පොඩි සිදුරක් තියේවි. උණ්ඩය එළියට ගිය පැත්තේ ඊට වඩා ලොකු සිදුරක් තියේවි. ප‍්‍රභාකරන්ට මෝටාර් හෝ කාලතුවක්කු ප‍්‍රහාරයක් වැදිල තියෙනවා.
අවසන් සටන පැවැති වෙලාවෙ මඩවගුරෙ දී අපි බර අවි පාවිච්චි කළා. ඒ ප‍්‍රදේශය පළාතෙවත් සිවිල් ජනතාව හිටියේ නැහැ. හිටියේ එල්ටීටීඊයයි අපියි විතරයි. අපි ගහපු බර අවියකින් අනිවාර්යයෙන්ම ඒ ආකාරයෙන් එයාගෙ ඔළුව කැඩිල යන්න ඇති. ඇස්දෙක ඇරිල මැරිල තිබුණේ. එයා දන්නෙත් නැතුව. අඩුගානෙ තමන් වෙඩි තියා ගත්ත නම් ඇස් දෙක හරි වැහෙනවා නේ. මුහුණේ භීතිය හරි ඇතිවෙනවනේ. එහෙම දෙයක් තිබුණේ නැහැනේ.
ප‍්‍රශ්නය:- ප‍්‍රභාකරන්ගෙ සිරුර හඳුනා ගැනීමට කරුණා අම්මාන් යැව්වේ කවුද?
පිළිතුර:- මම. එයත් එක්ක තවත් ත‍්‍රස්තවාදියෙක් හිටියා. ඒ දෙන්න යැව්වේ මම. අපි වෛද්‍යවරුත් යැව්වා. ඞීඑන්ඒ පරීක්ෂණයකට අවශ්‍ය තොරතුරු ගන්න. පොලිසියේ උසස් නිලධාරින් යවල මරණයට අදාළ කටයුතු ඉන් එහාට කරගෙන ගියා. නීතිමය කටයුතු කළා. මරණයට අදාළ ලියකියවිලි සූදානම් කළා.
ප‍්‍රශ්නය:- කරුණා අම්මාන්ගෙ ප‍්‍රකාශය වැරදියි කියලද ඔබ කියන්නේ.
පිළිතුර:- එයා ඒ සාකච්ඡාවේ දී කියල තිබුණා එයා පාවා දුන්නේ නැහැ. ඔත්තු දුන්නේ නැහැ කියල. ඒවා ඇත්ත. එයා පැනල ගියා. අපට සටන මෙහෙයවන්න කළ උදව්වක් නැහැ.
ප‍්‍රශ්නය:- ඔහු එල්ටීටීඊයේ ඉවත් වෙලා එනවිට එල්ටීටීඊ කඳවුරු තිබෙන ස්ථානවල සිතියම් ගෙනාව කියලා සඳහන් වෙනවා.
පිළිතුර:- අපි සිතියම් බල බලා සටන් මෙහෙය වූයේ නැහැ. භූමිය දිහා බැලූවා. අපිට හොඳ බුද්ධි අංශයක් තිබුණා. තමිල්චෙල්වම් ඉන්න තැන කිව්වේ බුද්ධි අංශයෙන්. අපි ඒ තොරතුරු ගුවන් හමුදාවට දුන්නා. මාස 6ක් තිස්සේ හය පාරක් ඒ තොරතුරු ගුවන් හමුදාව සනාථ කළා. ඊට පස්සේ ගුවන් හමුදාව ඉලක්කය ගත්තා. අපට අවශ්‍යම තොරතුරු බුද්ධි අංශවලින් ලැබුණා. කරුණා අම්මාන්ගෙන් ලැබුණ දෙයක් නැහැ. සිතියම් එයා ගෙනැල්ල තිබුණෙත් නැහැ. ත‍්‍රස්තවාදීන්ගේ සිතියම් බල බලා අපි සටන මෙහෙයුවේ නැහැ.
ප‍්‍රශ්නය:- කේ.පී. ත‍්‍රස්තවාදී ක‍්‍රියාවල යෙදුන බවට තොරතුරු නැහැ කියල නීතිපති කියලා තිබෙනවා.
පිළිතුර:- කේ.පී. කරපු දේවල් ත‍්‍රස්තවාදී ක‍්‍රියා නොවෙයි කියලා නීතිපති කියනවා නම් නීතිපතිත් ත‍්‍රස්තවාදියෙක් කියල හඳුන්වන්න වෙනවා. කේ.පී. කරපු දේවල් නීත්‍යානුකුලයි කියල නීතිපති හිතනවා නම් ඒක පුදුමයක්. මම හමුදාපති වශයෙන් ඒකාලේ බුද්ධි වාර්තා මට ලැබුණා. ආරක්ෂක අංශයේ කිසිම කෙනෙකුට කේ.පී. ගැන රහසක් නැහැ. ඔහු ගැන ආරක්ෂක කවුන්සලයෙදී අනන්තවත් කතා කරල තියෙනවා. ඔහු ගැන බුද්ධි වාර්තා තියෙනවා.
එල්ටීටීඊයට විදේශ මුදල් එකතු කිරීමේ බාරව හිටියේ ඔහු. අවි ආයුධ මිලදී අරගෙන සටනට එව්වේ එයා. ඒ ආයුධවලින් තමයි මේ රටේ සෙබළුන්ට, ජනතාවට පහර දුන්නේ. බෝම්බ හදන්න පුපුරණ ද්‍රව්‍ය එව්වේ එයා. ඉන්දියාව පවා කේ.පී. ගෙන් සාක්ෂි සටහන් කරන්න ඉල්ලා තිබුණා. ඉන්දියාව තවමත් ඒ මතයෙ ඉන්නවා. එයා ත‍්‍රස්තවාදීයෙක්. එයා හිටපු රටෙන් මෙහාට බාර දුන්නේ ඒ නිසයි. ඒ මිනිහා අහිංසකයෙක් නම් හිටපු රටේ දී අල්ලලා බාර දුන්නේ ඇයි? අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එන්න කියල කේ.පී. බාර දුන්නා. ගුවන් යානයටත් නැග්ගුවා. මම ඒ රට කියන්න කැමැති නැහැ. කේ.පී. ගෙනැල්ල කටුනායකින් බැස්සට පස්සේ තමයි ගෝඨාභයත් දැන ගත්තේ. ගෝඨාභය එයින් පස්සේ රාත‍්‍රී 2.00ට මට කතා කරල සරත් කේ.පී. ගෙනැල්ල කියල කිව්වා. කේ.පී. ත‍්‍රස්තවාදියෙක් නිසා තමයි ඒ ආකාරයට ගෙනාවෙ. ඉතින් නීතිපති කියනවා නම් කේ.පී. ත‍්‍රස්තවාදියෙක් නොවෙයි කියලා නීතිපතිගෙ ඔළුව හොඳ නැහැ. අනිවාර්යයෙන්ම නීතිපති මානසික වෛද්‍යවරයෙක් ළඟට යවන්න ඕනෑ. ඔළුව හොඳ නැති මිනිහෙක් නීතිපති වෙලා ඉන්නවා නම් ඒක රටේ ආරක්ෂාවට බරපතළ ප‍්‍රශ්නයක්. රටේ නීතියට ප‍්‍රශ්නයක්. නීතියෙ හව්හරණ ජනතාවට ලැබෙන්නේ නැහැ. නීතිපති වහාම ඉවත් කළ යුතුයි. ත‍්‍රස්තවාදීයෙක් ආරක්ෂා කරන්න හදන නිසා එයාට විරුද්ධව රටේ නීතිය ක‍්‍රියාත්මක කළ යුතු වෙනවා. රටේ ත‍්‍රස්තවාදී මර්දන පනත එයාට විරුද්ධව ක‍්‍රියාත්මක කළ යුතු වෙනවා. ඒ වගේ පුද්ගලයෙක් ගැන ජනතාව විශ්වාසය තියන්නේ කොහොමද? එයාට වැටුප් ගෙවන්නේ රටේ ජනතාවගෙ මුදලින්.
වෙන වෙන හේතු නිසා ඔය වගේ ප‍්‍රකාශ කරනවා නම් ඒක රාජපක්ෂල කරන බලපෑම් විය යුතුයි. අද ජනාධිපතිතුමා, අගමැතිතුමා නිලධාරීන්ට බලපෑම් කරන්නේ නැහැ. රාජපක්ෂලගෙ බලපෑම අනිවාර්යයෙන්ම මෙයාට තියෙන්න ඇති. නීතිපති වහාම එම ධුරයෙන් ඉවත් කරල මානසික රෝහලට යවන්න ඕනෑ. රටේ නීතිය එයාට කවුරුන් හෝ තෝරා දෙනවා නම් හොඳයි. අපේ හමුදාවෙ කවුරු හරි කෝප‍්‍රල් කෙනෙකුට කිව්වත්, එයාට දේශනයක් දේවි. එයාට උගන්වාවි. එච්චරවත් දැනුමක් නැති මිනිහෙක් ජනතාව වෙනුවෙන් යුතුකම් කරන්නේ කොහොමද? ඉතාම ලජ්ජාසහගතයි.
ප‍්‍රශ්නය:- කේ.පී. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට එකතු වූ නිසා ඔහුව බේරා ගැනීමේ අවශ්‍යතාවක් කියල හිතනවද?
පිළිතුර:- නීතිය හසුරුවන්න අපරාධකරුවෝ බේරන්න එහෙම ලයිසන් එකක් නීතිපතිට කවුරුවත් දීල නැහැ. අනිවාර්යයෙන්ම නීතිපතිගෙ කුමක් හෝ විශාල ප‍්‍රශ්නයක් තියෙනවා. රටේ ජනතාව මේ වගේ අයට විරුද්ධව නැගී සිටිය යුතුයි. රටට හානිකර චරිත, රටේ ආරක්ෂාවට හානි කරයි. වෙන රටක ඔහොම දෙයක් කිව්ව නම් මෙලහකට කූඩුවෙ.
ප‍්‍රශ්නය:- ඔබේ ඉදිරි දේශපාලන කටයුතු කොහොම ද?
පිළිතුර:- ඉදිරියටත් අපේ පක්ෂය ප‍්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරනවා. පක්ෂය ගොඩ නැගුවෙත් ප‍්‍රතිපත්ති මත කටයුතු කිරීමටයි. අනිත් පක්ෂවලට වඩා වෙනස් ආකල්පවල, ප‍්‍රතිපත්තිවල අපේ පක්ෂය ක‍්‍රියා කරනවා.