එජාප මැයි දින කඹ ඇදිල්ල හා රටේ ආර්ථිකය ජනතාවගේ ජීවන බර ගැන එජාප ප‍්‍රබලයකු වන රවි කරුණානායක කරන විග‍්‍රහයයි මේ.
ප‍්‍රශ්නය:- එජාපය ඇතුළු ප‍්‍රධාන පක්‍ෂ බොහෝවිට මැයි දිනය කොළඹදී සමරද්දී එජාපය මෙවර යාපනයේ ගියේ ඇයි? මේ ආණ්ඩුවේ නියෝගය මත රණවිරුවන් ජීවිත පුදා උතුර බේරා නොගත්තා නම් එජාපය යාපනේ යාවිද?
පිළිතුර:- යාපනේ කියන්නෙත් මේ රටේ කෑල්ලක්. ආණ්ඩුවයි අපේ සමහර අවස්ථාවාදිනුයි හිතන්නෙ යාපනේ කියන්නෙ හරියට වෙනින් රටක කෑල්ලක් ලෙසයි. එජාපය ජාතිවාදී ආගම්වාදී පක්‍ෂයක් නොවෙයි. එදා ඞී.ඇස්. මැතිතුමා එජාපය හැදුවේ සියලූ ජාතීන්ට හා ආගම්වලට කුල ගෝත‍්‍රවලට දොර විවෘත කරලයි. ඒක එදා වගේම අදත් පවතිනවා. එජාපය මෙවර යාපනේ යාම ගැන ආණ්ඩුව බය වුණා. ඇත්ත ඒකයි. ගියවර අපි මැයි දිනය සැමරුවේ බණ්ඩාරවෙලයි. අපේ මහා සම්මේලනය පවා ත‍්‍ර‍්‍රී’මලේ හා කතරගම ආදී ප‍්‍රදේශවලත් පැවැත්වූවා. ශ්‍රීලනිපය වගේ අපි කොළඹට කොටුවෙලා නැහැ.
ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂවල තීන්දුව වුණේ මෙවර යාපනේ මැයි රැලිය පවත්වන්නයි. එජාපයත් ඊට එකතු වුණා. උතුර දකුණ අතර පාලම හදලා බිඳුණු දෙමළ හදවත් හා සෙසු ජාතීන් අතර සමගිය ඇති කිරීම අපේ පරමාර්ථය වුණා. එජාපය කරන්නේ පක්‍ෂ කෘත්‍යාධිකාරිය සම්මත කළ දේයි. නැතුව ඒවා සම්මත වෙනකම් නිහඬව ඉඳලා ජනමාධ්‍යවලින් විරුද්ධ වූ අවස්ථාදීන් හා ආණ්ඩුව කියන දේ අපි කරන්නේ නෑ. ආණ්ඩුවේ ඩලස්, වීරවංශ හා ලොකුගේ වගේ අයයි කොළඹ එජාප මැයි රැළියක් තිබෙනවාය කියල දඟලපු අපේ අයයි දෙගොල්ලම එකම දේයි කිව්වේ. මේ සහසම්බන්ධතාව හා කුමන්ත‍්‍රණය පැහැදිලියි නේ. පේ‍්‍රමදාස ගුණ සමරුව වසර 18 ක් මැයි 1 දා උදේ වරුවේ තිබ්බේ. ඒත් මෙවර විතරක් පක්‍ෂය එක්ක ගැටිලා පක්‍ෂය බෙදන ආකාරයට පෙළපාළි යමින් එය මැයි රැුළියක් බව කියමින් එජාපය තුළ බෙදීමක් ඇති බව රටට කියන්න මේ අය ක‍්‍රියා කළේ කාගේ වුවමනාවකටද කියලා අපි අහනවා. ගුණානුස්මරණවලදී පෙළපාලි යන්නේ කොයි රටේද? එජාපය තුළ බෙදීමක් ඇති බව ප‍්‍රසිද්ධියේ රටට කීවේ මෙතැනදීයි. පිටුපස ඉඳන් ආණ්ඩුව මේ අයට කළ උදවු ළඟදී එළිවේවි. ජාතියේ පියා ඞී.ඇස්. අගමැතිවරුන්වූ බණ්ඩාරනායක හා කොතලාවල මැතිතුමන්ලාට නොදෙන හමුදා උත්තමාචාර මේ ගුණ සමරුවට ආවේ කොහොමද කියලයි අපි අහන්නේ?
ප‍්‍රශ්නය:- අනෝමා පොන්සේකා මහත්මිය පේ‍්‍රමදාස ගුණ සමරුවට යාම එජාපයට විශාල පහරක් හා තර්ජනයක් නේද?
පිළිතුර:- එහෙම එකක් නම් නෑ. ජෙනරල් බිරිඳ ගත් ඒ තීන්දුව ගැන හුඟ දෙනෙක් පුදුම වෙනවා. මෙතැන එළියට ආවේ මොන නුවණද කියලා හිතෙනවා. ඒත් දේශපාලනය කියන්නේ ඊට වඩා හුඟක් දිග පළල එකක්. මහ මැතිවරණයේදී ජෙනරාල්ට එජාපය එක්ක තරග කරන්න ඉඩ දෙන්න එපා යයි කියපු එකම කෙනා සජිත් පේ‍්‍රමදාසයි. හේතුව ලෙස කිව්වෙ එයා දැන් ඉවරයි. බල තණ්හාව තිබෙන කෙනෙක් කියලත් විග‍්‍රහ කළා. ගුණ සමරුවලට යාමෙන් අනෝමා මහත්මිය ගත්තේ ජෙනරාල් අනාථ කරන තීන්දුවක්.
ප‍්‍රශ්නය:- ඒත් එජාපය යාපනේ මැයි රැලිය පවත්වා පරාජය කළ බෙදුම්වාදය හා පරාජය වූ කොටින්ට කිරි පොවන්නට ප‍්‍රභාකරන්ට උපහාර පිදීමට බවට එල්ලවූ චෝදනා ගැන මොකද කියන්නේ?
පිළිතුර:- අද මේ රටේ ජනතාවට තිත්ත වෙලා ජාත්‍යන්තරය තුළ නන්නත්තාර වෙලා ඉන්න ආණඩුවට ජනතාව අන්දන්න මේ වගේ දෙයක් කියනවා හැරෙන්න වෙන මොනවා කියන්නද? ඒත් අපේම අවස්ථාවාදී පිරිසකුත් ඒකම කීමයි පුදුමය වෙන්නේ. අනික කොටියෙක් තියා කොටි පැටියෙක්වත් නැති බව හා බෙදුම්වාදය පරාජය කළ බව ආණ්ඩුව කියද්දී එජාපය කාට කිරි පොවන්නද? කොහේ තියෙන බෙදුම්වාදයක් පෝෂණය කරන්නද? මේවාට රැවටිලා අඳින ජනතාවක් දැන් මේ රටේ නෑ.
අද එජාපයට කොටි ලේබල් අලවන්න බෑ. මම අහනවා පොලිසියේ 600 ක් මරපු, දළදාවට ගහපු, අරන්තලාව භික්‍ෂූන් මරපු අය අද ඉන්නේ කාගේ තුරුලෙද? ඔහු මොන පක්‍ෂයේ උප සභාපතිද මොන ආණ්ඩුවේ ඇමතිද කියල ශ්‍රීලනිප අයගෙන් මම අහනවා. ලෝකය වටේ ගිහින් කෝටි ගණන් එකතු කරලා රටට විරුද්ධව සටන් කරන්න ප‍්‍රභාකරන්ට සල්ලි එව්ව කේ.පී. අද ඉන්නේ මොන මන්දිරේ ද? කියලත් මම අහනවා. ආණ්ඩුව හා තරගෙට අපේම අයත් අද එජාපයට මඩ ගැසීම තරම් පාපයක් තවත් තිබෙනවාද? කිඹුලා කනවා ඉවසිය හැකියි කොහිල කටු ඇනීමයි ඉවසන්න අමාරු කියන එකයි අද පාක්‍ෂිකයා මොවුන් ගැන කියන්නේ. මට තිබෙන දුක මේ අය දිගටම පක්‍ෂය පරද්දන කුමන්ත‍්‍රණය දියත් කරන නිසා වහාම තීන්දුවක් ගන්නැයි මම එදා කී දේ පක්‍ෂය නොකිරීමයි. එජාපය කළේ පාක්‍ෂිකයා අනාථ කිරීමයි. යාපනේ එන්න කීවාම යන අවංක පාක්‍ෂිකයනුයි මේ අනාථ වෙන්නේ. යාපනේ ගියපු 15,000 පාක්‍ෂිකයො හා වසර 17 ක් දුක් විඳින පාක්‍ෂිකයා වෙනුවෙන් පක්‍ෂය දැන් මොනවද කරන්නේ කියලයි හැමෝම බලන්නේ.
ප‍්‍රශ්නය:- මම අහන්නේ බෙදුම්වාදය හා ත‍්‍රස්තවාදය යළි පෝෂණය කිරීමට එජාපය මෙවර මැයි රැලිය හරහා උත්සාහ කළබව නේද?
පිළිතුර:- කොටි පැටියෙක් තියා කොටිමයිල් ගහක්වත් නැති බව ආණ්ඩුව සහතික කරන අතරේ අපි කොටින්ට කිරි පොවන්න ගියා කීම විහිලූවක් නේ. අනික මේ ආණ්ඩුව යටතේ රණවිරුවන් කොටි නැති කළේ මැජික් එකකින් නොවෙයි. චන්ද්‍රිකා හා රනිල් යුග තුළ දැමූ පදනමත් ඊට විශාලම ශක්තියක් වුණා. කරුණා කඩලා කොටි නැති කළේ, යුද නැව් ගෙනාවේ, යුද්ධයට අවශ්‍ය ශක්තිමත් ආර්ථිකය ඇති කළේ එජාපය නොවෙයිද? මේ ආණ්ඩුවට තනියම කොටි නැති කළා නම් තනියම රටේ ආර්ථිකය හදලා ජනතාවට සහන දෙන්න. කවදාවත් ඒක කරන්න මෙයාලට බෑ. මේ ආණ්ඩුව ජනතාව අන්දලා එදාවේල ටුවර්ස් එකක්නේ කරන්නේ. එජාප යාපනේ රැලියට කොටි කොඩි ගත් දෙන්නෙක් ආණ්ඩුවෙන් එවා තිබුණා. අපේ අය ඔවුන් අල්ලා ගත්තා. තමන් රාජ්‍ය රූපවාහිනියක බවයි ඔවුන් කියල තියෙන්නේ. අපේ කෙනෙක් ඔවුන් බේරලා යවලා. ආණ්ඩුවේ නිරුවත එළි කරන්න තිබූ හොඳම අවස්ථාවක් අපි මඟ හැරගත්තේ.
ප‍්‍රශ්නය:- මෙවර මැයි රැලි හරහා ජනතාව රටට ලබාදුන් පණිවිඩය කුමක්ද?
පිළිතුර:- ආණ්ඩුව ජනතාවට තිත්ත වෙලා ඉන්නේ. ජනතාව ගොනාට ඇන්දීම තවදුරටත් කරන්න ඉඩක් නෑ. නුඹලාට බැරි දේ එජාපය කරනවා කියන විශ්වාසය නිසයි 15,000 ක් යාපනේ ගියේ. අනික මේ රටේ ආර්ථිකය හා රට ශ්‍රීලනිප ඇතුළු අය වට්ටපු හැම අවස්ථාවකම ගොඩ ගත්තේ එජාපයයි.
ප‍්‍රශ්නය:- ජනතාවට ආණ්ඩුව තිත්ත නම් රටේ ප‍්‍රශ්න විසඳීමට එකම විකල්පය එජාපය බව ඔබ කිව්වත් රට ඉදිරියේ දෙකට බෙදුණු එජාපයක් තිබියදී ජනතාව අතරමං වෙන්නෙ නැද්ද?
පිළිතුර:- මෙවර මැයි දිනය තෙක් එජාපය බෙදිල තිබුණා. ඒත් ඊට පසුදා ඉඳලා එහෙම බෙදීමක් නැති පක්‍ෂයක් බිහිකිරීමට පාක්‍ෂිකයා පක්‍ෂයට බල කරනවා. මොකද මේ ආණ්ඩුවට තවදුරටත් වැජඹෙන්න එජාපය දෙකඩ කරන කඬේ යන අය ආණ්ඩුවෙන් නොයෙක් දේ ලබා ගන්නා අය ගැන ඉරණම ඉක්මණින් විසඳිය යුතු වෙනවා. ඒ අය පක්‍ෂයට අභියෝග කරලා ආණ්ඩුවට වාසි සලසලා එජාප පාක්‍ෂිකයා තවදුරටත් අනාථ කරන්න එජාපය තවදුරටත් ඉඩ දෙනවා දැයි තීන්දු කළ යුතු වෙනවා.
දියවැඩියා රෝගියෙකුට ජිවිත ආරක්‍ෂාව පතා වෛද්‍යවරු ඇඟිල්ල කපල දානවා. ඒ වගේ එදා ජේ.ආර්. මැතිතුමා රුක්මන් ඉවත් කරල 77 දී 5/6 ක බලය ගත්තා. සිරිමා මැතිනිය තමන්ගෙ පුතා අනුර අයින් කරලා 94 දී බලය ලබා ගත්තා. පේ‍්‍රමදාස මැතිතුමා පක්‍ෂයේ ආරක්‍ෂාවට ලලිත්, ගාමිණීල වගේ බලවතුන් පවා අයින් කළා. එහෙනම් එජාපයට යළි බලය ලබාගන්න නම් පක්‍ෂය දෙකඩ කරන අය ගැන ඉක්මන් තීන්දු ගත යුතු වෙනවා. මොකද කොටින්ට මුලින්ම අවි, සිමෙන්ති ලබාදුන් පොලිසියේ 600 ක් මරණ වැරදි තීන්දු දුන් අය කවුද? අද එජාපය පරාද කරන බෙදීම් කරන්නේත් ඒ පරපුරමය. ඊට අමතරව 2005 ජනපතිවරණයේදී කොටින්ට සල්ලි දීලා ප‍්‍රතිඵලය වෙනස් කළ අය අද අපට ගහනවා. එජාපය සරත් ෆොන්සේකා එළියට ගන්න ක‍්‍රියා කළා. ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් කළා. සමහරු කිව්වේ තමන් දින කීපයකින් ජෙනරල් එළියට ගන්න නිසා ඒවා වැඩක් නැති බවයි. ඒත් තාම එතුමා හිරේ. අද මේ වගේ නපුංසක දේශපාලනයක් මේ රටේ තියෙන්නේ. විකීලීක්ස්වල මේ සියලූ තොරතුරු තිබෙනවා. ආණ්ඩුව දෙමළ සන්ධානයට තේරීම් කාරක සභාවට එන්න කියන කොට ඔවුන් කොටි නෙවෙයි. ඒත් අපි එක්ක මැයි දිනේ සමරන කොට ඔවුන් කොටි. පුදුම කතා.
ප‍්‍රශ්නය:- 2009 දී ජිනීවාහිදී දිනූ ලංකාව 2012 පරාජය වුණා. ඒ ගැන පොළොවේ පය ගසා ඇත්තටම අපට වුණේ මොකද කියලා සෙවිය යුතු බව ආණ්ඩුවේම ඇමතිවරු දැන් කියනවා. ජාත්‍යන්තරය තුළ අපට දැන් හිරවීම වළකාගත නොහැකිද?
පිළිතුර:-ලංකාවයි ජනතාවයි ලෝකය තුළ අනාථ කළේ මේ ආණ්ඩුවයි. සමහර ඇමැතිවරුන්ට මේක තේරුණත් ආණ්ඩුවට කවදාවත් මේක තේරුම් ගන්න බෑ. ඉන්දියාවට 13+ කියලා ලණු දීලා ඔවුන් මෝඩයා කරලා හෑල්ලූ කරලා කරගත්ත දේ හොඳ නේද? ලංකාව කවුරුත් ළඟ දණ ගහන්න ඕනෑ නෑ. ඒත් අපි ස්වාධීන රටක් කියලා ලෝකයේ ශිෂ්ට නීති හා සම්ප‍්‍රදායන්ට පිටුපාන්න බෑ. මේ ආණ්ඩුවේ හුඟ දෙනෙකුට ඒක තේරෙන්නෙ නෑ.
රජීව් මරපු කේ.පී. ඉන්දියාව ඉල්ලනවා. එයා නොදී තියාගෙන ඉන්දියාවට ඔච්චම් කරනවා. 2009 දිනලා 2012 පැරදුණේ එදා ලෝකයට දුන් පොරොන්දු මේ ආණ්ඩුව ගෙඩි පිටින් කඩකිරීම තුළයි. මේ රට උතුරු කොරියාව ඉරානය කියුබාව වගේ ලෝකය තුළ තනිවූ අනාථ රටක් කරන්නද මේ හදන්නේ. ජනතාව මේ ගැන ඇස් අරින්න. නැත්නම් ඔබත් ඔබේ දු දරුවන් තමයි ළිං මැඩියො වෙන්නේ. ඒත් එජාපය මේ රටත් ජනතාවත් බේරා ගන්නවා.
ප‍්‍රශ්නය:- ජනතාව ජීවන බර දරන්නට නොහැකිව දැඩි අසීරුතාවට මුහුණ දී තිබියදී පඩි හා ආදායම් එක තැන පල්වෙද්දී විරැකියාව නිසා තරුණයන් අසහනයට පත්වෙද්දී ආණ්ඩුව රුපියල පාවෙන්නට හැර ඩොලරයකට රු. 130 ඉක්මවා තිබියදී ඒ ගැන ඔබ මොකද කියන්නේ?
පිළිතුර:- මේ ආණ්ඩුව ලෝක බැංකුව මූල්‍ය අරමුදලේ දශම ගණනක පොලිියට ණය ගැනීමට පයින් ගහලා චීනය හා වාණිජ බැංකුවලින් 7% හා 8% ගිනි පොලියට ණය අරන් තමයි මේ විපත රටට සිදු කළේ. ලංකාවේ වෙළඳ ශේෂයේ අද හිඟයක් තියෙනවා. ඒක පියවන්න දැන් එදා එපාවූ මූල්‍ය අරමුදල ලෝක බැංකුවට ආණ්ඩුව ළංවෙලා. වසර 03 කට පෙර අපි කී දේ නොකර ඉඳලා දැන් කරන්න ගිහිනුයි අද මේ තරමට රුපියල එකපාරට බාල්දු කරලා රටයි ජනාතවයි අනාථ කළේ.
ප‍්‍රශ්නය:- ඒත් ජනතාව තාම විපක්ෂයට වඩා ආණ්ඩුව ගැන විශ්වාසය තබන බව මැයි රැළියෙනුත් සනාථ වුණේ නැද්ද?
පිළිතුර:- ජිනීවා පසුබෑමෙන් පසුව ළඟදී මහනුවර තිබූ ආණ්ඩුවේ රැළියට ආණ්ඩු බලයම දාලත් සෙනඟ ගේන්න බැරි වුණා. ඒ නිසා මේ මැයි දිනයට සියලූ රාජ්‍ය සංස්ථා, මණ්ඩල, සියලූ දෙනාම පැමිණීම අනිවාර්ය කළා. සමෘද්ධි අයටත් ඒකම කළා. ඒ මිනිස්සුයි තවමත් ආණ්ඩුවේ බොරුවට රැවටුණු අයයි සුළු පිරිසක් ආණ්ඩුවේ පෙළපාලියට ආවාට බහුතර ජනතාවට දැන් ආණ්ඩුව තිත්තයි. රු. 2500 ට මාසයක් කන්න පුළුවන් කියලා ඇමති බන්දුල කියනවා. ජනතාව මේවා අහලා කෝපවෙලා ඉන්නේ.
ජනතාව සහන ඉල්ලල අඬන කොට ආණ්ඩුව ඔවුන් පණ පිිටින් වළ දානවා. මැයි දිනයට සන්ධානයේ පෙළපාලියට ආපු ජනතාවට ආණ්ඩුව ඊට පසුදා ලොකු සහනයක් දුන්නා. කිරිපිටි කිලෝව රු. 161 ක් ගෑස් රු. 350 ක් පාන් පිටි රු. 08 ක් පාන් හා බේකරි නිෂ්පාදන සියල්ලත් සිමෙන්ති රු. 70 කිනුත් වැඩි කළා. ජනතාව පිට මේ සියලූ අනවශ්‍ය බර පැටවෙන්නේ ආණ්ඩුවට ආර්ථිකය මෙහෙයවීම පිළිබඳ හැකියාවක් හෝ දැක්මක් නැතිකම නිසයි.
ජනතාවට ආණ්ඩුව තිත්ත වී ඇති තරම යාපනේට 15,000 ක් එජාප මැයි පෙළපාලියට දකුණෙන් යාමෙන්ම තේරුම් යනවා. එජාපය අතමිට සරු රැකියා සුලභ සහන දෙන අනාගතයක් ජනතාවට උරුම කරනවා.
එජාප කොළඹ දිස්ත‍්‍රික් නායක රවි කරුණානායක
සංවාද මෙහෙවර - අශෝක ජයතුංග