බිංගිරියේ ගෙවත්තක සැරි සරණ අවතාරය


 

 

එංගලන්තයේ වසර ගණනාවක් රැකියාව කර පැමිණ සිටින ඔහු පදිංචිව සිටින්නේ බිංගිරිය ප‍්‍රදේශයේය. මොහුගේ බිරිඳ තවමත් විදේශගතව සිටින්නීය. පුතාත් සමග ඔහු නිවසේ පදිංචිව සිටිති.

මේ ගෙවත්ත වටා රෑට නිතර වයස්ගත කාන්තාවකගේ අවතාරයක් සැරිසරන බවට අපට දැනුම් දුන්නේ නාන්කඩවර ග‍්‍රාම නිලධාරි එච්.එම්. සිසිර කුමාර මහතාය.

ගලගෙදර දිසා රෝහලේ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ජනක ජයසූරිය මහතා මාරවිල මූලික රෝහලේ මනෝ වෛද්‍ය සහ අමාත්‍ය පීලික්ස් පෙරේරා මහතාගේ උපදේශක වෛද්‍ය ප‍්‍රියන්ත ගාමිණී ජයසිංහ සහ එම රෝහලේ මානසික වෛද්‍ය සායනයේ ප‍්‍රධාන හෙද නිලධාරි බුද්ධික සිරිවර්ධන යන මහත්වරුන් ද සමග අපි මේ අවතාරය සැරිසරනවා යැයි කියන නිවස සොයා පසුගිය සෙනසුරාදා රාත‍්‍රියේ ගියේ මේ සම්බන්ධව ගවේෂණයක් කිරීමටය.

නිවසේ හිමිකරු සමග අප කතා බහට මුල පිරුවේ මේ අවතාර කතාවේ සුලමුල හෙළිකර ගැනීම සඳහාය.

නම හෙළි නොකරන ලෙස ඉල්ලීමක් කළ නිසා ඔහුගේ නම සඳහන් නොකළෙමු.

මම වසර කිහිපයක් එන්ගලන්තයේ රැකියාවක් කරලා පොඩි පුතාත් එක්ක ලංකාවට පැමිණ මේ ගෙදර පදිංචියට ඇවිත් වසර 2 ක් විතර වෙනවා. මගේ බිරිඳ තවමත් විදෙස් ගතව රැකියාවක් කරනවා.

 



මා එන්ගලන්තයේ රැුකියාව කරන කාලයේ ඒ රටේ භූතයන් සම්බන්ධව කෙරෙන පර්යේෂණ ගැන දින පතාම වැඩසටහන් නිතර බැලූවා. ඒ සම්බන්ධව ලියැවුණු පොත්පත් හුඟාක් කියෙව්වා. අවතාරවල පින්තූර ඡායාරූපගත කර තිබූ අන්දම හා වීඩියෝ ගතකර තිබෙන ආකාරය මා  ඕනෑ තරම් දැක තිබෙනවා.
අප සමග තවදුරටත් තොරතුරු හෙළිකරමින් නිවෙස් හිමියා මෙසේද කීය.

කොච්චර හම්බකළත් කිසිම ඉතිරියක් නැහැ. ගෙදර මොකක් හරි අමනුෂ්‍ය දෝෂයක් ඇතැයි කියා රට ඉන්න බිරිඳ කියන්න පටන්ගත්තා. මම නම්  ඕවා එච්චර පිළිගන්න කෙනෙක් හෝ විශ්වාස කරන කෙනෙක් නෙමේ.

බිරිඳ කියන නිසාම මම බිංගිරිය පැත්තේ තියන දේවාලයකට ගියා සාස්තරයක් අහන්න. දේවාලයේ කපුවා මායම්වෙලා කිව්වා ගෙදරට අමනුෂ්‍ය බැල්මක් තිබෙනවා. ඒ අමනුෂ්‍ය බැල්ම නිසා කොච්චර හරි හම්බ කළත් ඉතිරියක් නැත්තේ ඒ නිසා යැයි ඔහු පැවසුවා. ගෙදර කවුරුහරි මිය ගිය කෙනකුගේ භූත ආත්මයක බලපෑමක් නම් තිබෙන්නේ යැයි කියාද ඒ කපුවා කිව්වා. ඒ සඳහා කළයුතු වත්පිළිවෙත් ගැනත් මට දැනුම්දුන්නා.

මම ගෙදර ඇවිත් බිරිඳට මේ කපුවා පැවසූ සියලූ දේ ගැන ස්කයිබ් තාක්ෂණය ඔස්සේ කතා කර දැනුම් දුන්නා. බිරිඳගේ මවගේ මව ඒ වෙනකොට මිය ගිහින් වසර කිහිපයක් වෙනවා. බිරිඳ එයාගේ කිරි අම්මාගේ ෆොටෝ එක ගෙදර තියාගෙන ඒ ෆොටෝ එකට හැමදාම වාගේ ලංකාවේ ඉද්දි මල් පහන් පූජා කළා. එයා ඒ තරමට කිරි අම්මාට ආදරෙයි. ඒ නිසා තමා කිරි අම්මා මිය ගියාට පස්සෙත් එයාගේ ෆොටෝ එකක් තියාගෙන ඒ ෆොටෝ එකට මල් පහන් පූජා කළේ. ඥාතීන් මිත‍්‍රයින් බොහෝදෙනෙක් අපට කිව්වා මේ විදිහට මිය ගිය කෙනකුට මල් පහන් පූජා කරන එක හොඳ නැහැ. එතකොට ඒ අයගේ ආත්ම ගෙදරට එන්න පටන්ගන්නවා කියා. අපි රට රස්සාවලට ගියායින් පස්සේ කිරි අම්මාගේ ෆොටෝ එකට මල් පහන් පත්තු කරන වැඬේ ඉබේම නතර වුණා.
බිරිඳට ඥාතීන් මිත‍්‍රයින් පැවසූ මේ කතාව මතක්වුනා. එයා කිව්වා මැරිච්ච කිරි අම්මාගේ බැල්මවත් අපේ ගෙදරට තියෙනවාද කියා කියන්න දන්නේ නැහැ. ඒ හින්දා මොනව හරි දෙයක් ගෙදර ආරක්ෂාවට කරන්න  ඕනෑ කියා.

භූතයන් ගැන එන්ගලන්තයේ කරන පර්යේෂණ ගැන මට මතකයට ආවා. අවතාරයක් භූතයෙක් ගෙදරට බැල්මදාගෙන ඉන්නවා නම් ඒ අවතාරය භූත ආත්මයේ ඡුායාරූප ගන්න හිතාගෙන ගෙදර ඉස්සරහා දෙපැත්තේ සීසීටීවී කැමරා දෙකක් සවිකළා.

දවසක් සීසීටීවී කැමරාවේ රූපරාමු එකිනෙක පරික්ෂා කර බලද්දී දැක්කා සුදුපාට ඇඳුමක් ඇඳගත්තු වයසක ගැහැණු කෙනකුගේ රූපයක් ඒ අතර තිබෙනවා. මේ ඡුායාරූපයේ හිස කොටස පැහැදිලි නැහැ. මේ රූපය දැකලා මම පුදුමයට පත්වුණා. මිය ගිය කිරි අම්මාගේ අවතාරය මෙය විය හැකි යැයි මා කල්පනා කළා. බිරිඳටත් මම මේ අද්භූත ඡායාරූපය ගැන දැනුම් දුන්නා. එයත් මේ ඡුායාරූපයේ ඉන්නේ මිය ගිය කිරි අම්මාගේ අවතාරය තමා කියා ඇයත් විශ්වාස කළා. ඒ අවතාරයේ ඡුායාරූපයක් මම ඇයටත් ඊමේල් කළා. ඒ ඡුායාරූපය බලා තමා බිරිඳ කිව්වේ මේ අපේ මිය ගිය කිරි අම්මාගේ අවතාරය විය හැකි යැයි කියා. පසුව මා මේ බව ග‍්‍රාම නිලධාරි සිසිර කුමාර මහතාටත් දැනුම් දුන්නා. මේ ගැන ඇත්ත දැනගන්න  ඕනෑ නිසා තමා ග‍්‍රාම සේවක මහත්තයා ඩොක්ටර්ලාට එන්න කිව්වේ.

වෛද්‍ය ජනක ජයසූරිය සහ මනෝ වෛද්‍ය ප‍්‍රියන්ත ගාමිණී ජයසිංහ යන මහත්වරුන්.

මේ කියන අවතාරයේ දර්ශන දිගින් දිගටම සීසීටීවී කැමරාවේ සටහන්වී තිබුණද?

 


නිවසේ හිමිකරු
එකම දවසයි ඒ වගේ කාන්තා රූපයකට සමාන හිස නැති රූපයක් පටිගතව තිබුණේ. ගෙදර තියෙන මල් පඳුරු අස්සෙන් මිනිස් හිසකට සමාන හැඩරුවක් තියෙන රූපයක්ද සීසීටීවී කැමරා පද්ධතියේ පටිගතවී තිබෙන අයුරු දක්නට ලැබුණා. තවත් එක එක අමුතු ආකාරයේ රූප රාත‍්‍රි කාලයේ ද කැමරා පද්ධතියේ පටිගතව තිබුණා.

අපේ ගෙදර බල්ලෝ කිහිපදෙනෙක් ඇති කරනවා උන් හරි වසයි... පිටස්තර කිසිම කෙනෙක් කතා නොකර මේ නිසා ගෙදරට එන්නේ නැහැ. ?ට ගෙදර ගේට්ටුව වසා දමනවා. ඒක උඩින් කෙනකුට පැනලා වත්තට ඇතුල් වෙන එකත් පහසු වැඩක්  නෙමේ යැයි නිවසේ හිමිකරු කීවේ වෛද්‍යවරුන් දෙදෙනා ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.



වෛද්‍යවරුන් දෙදෙනා
ඔබට ගෙදරින් හෝ වත්තෙන් අමුතු ශබ්ද එහෙම ඇහිලා තියනවාද? පියවි ඇහෙන් ඔබ කියන ආකාරයේ අවතාර දැක තිබෙනවාද?



නිවසේ හිමිකරු
කිසිම දවසක අමුතු අද්භූත ශබ්ද නම් ඇහිලා නැහැ. සුදු ඇඳගත්තු හිස නොමැති කාන්තාවගේ මේ රූපය මා කවදාවත් ඇස් දෙකෙන් දැකලා නැහැ. සීසීටීවී කැමරාවෙන් විතරමයි දැක ගැනීමට පුළුවන්වුනේ.

කෙම්මුර දවස්වලට අවතාර භූත ආත්මවල බලපෑම පෙනීම වැඩි වශයෙන් තිබෙන බවට බොහෝදෙනෙක් තුළ විශ්වාසයක් තිබෙන නිසා මේ ගෙවත්තේ ?ට සැරිසරනවා යැයි කියන අවතාර ගැන සොයා බැලීමට අප තෝරාගත්තේ ද එවැනිම දිනයකි.

මධ්‍යම රාති‍්‍ර 12.00 පසුවනතෙක් අප ඒ ගෙවත්තේ රැුඳී සිටිමින් හිස නොමැති සුදු හැඳගත් කාන්තාවකගේ අවතාරයක් හෝ වෙනත් අද්භූත සෙවනැලි ගෙවත්තේ සැරිසරන්නේ ද යන්න කියා අපි සීසීටීවී කැමරා පද්ධතිය නිරීක්ෂණය කරමින් දැඩි විමසිල්ලෙන් පසුවුනෙමු.

ඊට අමතරව ඡායාරූප ශිල්පී හේරත් සහ වෛද්‍යවරුන් දෙදෙනා සහ මමද වරින්වර ගෙවත්තේ ඇවිදිමින් ඡායාරූප ගනු ලැබුවත් ඔය කියන කිසිම අද්භූත දෙයක් අපේ ඩිජිටල් කැමරාවල සටහන්වී නොතිබුණු බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.

නාන්කඩවර ග‍්‍රාම නිලධාරි සිසිර කුමාර මහතා මේ අවතාර කතා ගැන අදහස් දක්වමින් පැවසුවේ මෙවැනි කතාවකි.

ගෙදර අයිතිකරු මේ බව දැනුම් දුන්නායින් පස්සේ මමත් ඇවිත් කාන්තාවකගේ අවතාරයක් යැයි කියන පරිගණකයේ ඇතිඡායාරූපය පරික්ෂාකර බැලූවා. සුදු ඇඳගත් කාන්තාවකගේ රූපයකට සමාන ඡායාරූපයක් දැකගැනීමට ලැබුණා. එහි හිස කොටස පෙනෙන්නට තිබුණේ නැහැ. මටත් මෙය එක පාරටම මොකක්ද කියා හිතාගන්න බැරිව ගියා. ඒ නිසා තමා මේ ගැන පරීක්ෂණයක් කරන්න  ඕනෑ කියා සිතුවේ.

 

මායාකාරී අත්දැකීම්වලට හේතුව කාංසාවයි


 

ඉහත විස්තරයේ සඳහන් ආකාරයට කැමරා තුළින් දෘශ්‍යමාන වූ ඡායා සඳහා අද්භූත භාවයක් ලබාදීමට උත්සාහ ගන්නා ආකාරය දැකිය හැකිය. මේ කාරණය විශ්ලේෂණය කිරීමේදී පැහැදිලිවන එක් කාරණයක් වන්නේ මේ නිවෙස් හිමියා විදෙස් රටක ගත කරන අවධියේදී අදෘශ්‍යමාන බලවේග සහ නොපෙනෙන විශ්වයේ තොරතුරු පිළිබඳව අධ්‍යයනය සඳහා උත්සාහ දරා ඇති බවයි. විශේෂයෙන්ම භූතාත්ම සම්බන්ධවයි.

එමෙන්ම ඔහු ජීවත්වන පරිසරය මත මිනිසුන් අදෘශ්‍යමාන සිදුවීම් සම්බන්ධව දැඩි විශ්වාසයක් සහ එම මතිමතාන්තරවල දැඩිසේ එල්බ ගැනීම සඳහා බලපෑම් ඇතිකරයි. (Suggestibility) ඔහු මෙම රූපරාමු වලින් පැහැදිලි කිරීමට උත්සහ ගන්නා සිදුවීම් නිශ්චල ඡායාරූප වන අතර චලන සහිත රූපරාමු ලබා ගත නොහැකි විය. රාත‍්‍රී කාලයේදී මායාකාරී අත්දැකීම් අත්විඳි අවස්ථා බොහෝ පුද්ගලයන් පැහැදිලි කරයි. මේ කාරණාව අප අවධානයෙන් බැලූවිට පෙනී යන්නේ එම පුද්ගලයන් අදෘශ්‍යමාන බලවේග සහ මතිමතාන්තර සඳහා විශේෂ ඉඩ ප‍්‍රස්ථාවක් ලබාදී ඇති බවයි. එමෙන්ම මෙවැනි මත තුළ දැඩි විශ්වාසයකින් පසුවන බවයි. මෙසේ වූ විට එහි ප‍්‍රතිඵල ලෙස පුද්ගලයන්ගේ සිතුවිලි සහ චර්යා අසාමාන්‍ය අද්භූත හෝ අදෘශ්‍යමාන බලවේග ලෙස පැහැදිලි කිරීමට උත්සාහ දරයි. එම නිසා මෙම පුද්ගලයාගේ සිතුවිලිවල ඇති කලබලකාරී මානසික තත්ත්වය හෝ කාංසාව හෝ බිය සහිත සිතුවිලිවලින් යුක්ත වූ විට මෙවැනි මායාකාරී අත්දැකීම් ලැබිය හැකිය.

මෙහිදී අප තේරුම් ගත යුත්තේ පාරිසරික උත්තේජන සඳහා වැරදි අර්ථකථන ලබදීම මගින් සමාජීය මිත්‍යා මත හා විශ්වාසදායක වන බවයි. මෙහිදී අප එම සිදුවීම් ගවේෂණය සඳහා ක‍්‍රියාමාර්ග යෙදු අතර අප භාවිත කළ ක‍්‍රියාමාර්ගවලදීද ඉහත ආකාරයෙන්ම මායාකාරී ලෙස සැලකිය හැකි රූප රාමු ලබාගත හැකි වූ බවයි එමගින් පැහැදිලි කළ හැක්කේ ඉහත සිදුවීම හා සම්බන්ධ විශේෂිත වූ මායාකාරී සිදුවීමක් ලෙස පිළිගත හැකි කිසිදු සාධකයක් අපට නම් අත්විඳීමට නොහැකි වූ බවත්ය. මෙහිදී අප සමාජයට දීමට උත්සාහ කරන්නේ මෙහි සඳහන් සිදුවීම සම්බන්ධව සහ නොයෙකුත් මිත්‍යා මත සහ අදෘශ්‍යමාන බලවේගවල එල්බ ගැනීමක් මගින් එවැනි මායාකාරී අත්දැකීම් ලැබිය හැකි බවත් නොයෙකුත් ඡායාරූප සහ තත්ත්ව පැහැදිලි කිරීමට උත්සාහ කිරීමෙන් නොයෙකුත් ගැටලූකාරී අත්දැකීම් ලැබිය හැකි බවත්ය.

 

 

 

සීසීටීවී කැමරාව ඉදිරියේ ලේන්සුවක් සෙලවූ විටත් භූතරූප මැවුණා

 

මෙම නිවසේ සවිකර තිබූ සීසීටීවී කැමරාවේ සටහන්ව තිබූ රූප කිහිපයක් මගේ අවධානයට ලක්වුණා. ඒ ඇතැම් ඒවායේ හැඩය මිනිස් රුවකට සමාන වීම නිසායි. රාත‍්‍රියේ වුවත් තද සුදු පැහැති වස්තූන් ලෙස ඒවා දිස්වී තිබුණා.

ඒ හැම ඡුායාරූපයක්ම භෞතික වස්තුවක් නිසා සටහන් වූ බව කිවයුතුයි. ඒ එම රූප හරහා විනිවිද පෙනීමක් නොතිබූ නිසයි. හොල්මන්, අවතාර, භූතයන් ලෙස සලකන්නේ ශක්ති විශේෂයක් නම් ඒවා මෙසේ පාරාන්ධ වස්තුන් ලෙස දිස්විය නොහැකියි.
මා මුලින්ම කළේ කළුවරේම එම සීසීටීවී කැමරාව ඉදිරියෙන් මා යාමයි. එහෙත් මගේ රුව එහි පැහැදිලි ලෙසම සටහන් වී තිබූ අතර අපට පෙන්වූ ”භූතාත්මය” වල රූප තරම් එළියක් ඒවායේ තිබුණේ නැහැ.

අනතුරුව මා මගේ ලේන්සුව කැමරාව අසලින් ඉහළට යනසේ විසිකළා. එවිට එය සටහන් වී තිබුණේද අද්භූත රුවක් ලෙසටයි. අප ඉන් අනතුරුව තුවායක් ගෙන කලින් පරිදිම කැමරාව ඉදිරියේ සෙලවූ විට එයද විවිධ හැඩතල මවමින් කැමරාවේ සටහන් වී තිබුණා. මේ හැඩතල වලට අර්ථ කථනය ලැබෙන්නේ බලන පුද්ගලයාගේ දෘෂ්ඨි කෝණය අනුවයි. නිවසේ හිමිකරුගේ මනසට හොල්මන් අදහස් දමා තිබූ නිසා මේ රූපවල ඇත්තේ මිනිස් රුවක් බව ඔහුට පෙනෙන්නට ඇති.

අසල වූ ගසකින් කොළයක් කැමරාව ඉදිරියෙන් බිම වැටුණත් එයත් අද්භූත රුවක් මවන්නට ප‍්‍රමාණවත්. භූතයින් පිළිබඳ පර්යේෂණ කෙරෙන්නේ මීට වසර සිය ගණනකට පෙර සිටයි. ඒත් අදවනතුරා මානව සංහතියට ප‍්‍රයෝජනවත් දෙයක් හෙළිකරගන්නට කිසිවකුත් සමත් නොවීම මත භූතයින්, හොල්මන් අවතාර විශ්වාස කිරීමේ පදනමක් නැති බව තහවුරු වෙනවා.

මදකට සිතන්න, දශක කීපයක ආයුෂ ඇති ජංගම දුරකථනය අද කෙතරම් නම් දියුණු වෙලාද? වෛද්‍ය විද්‍යාවේ තාක්ෂණය ගුවන්යානා ඇතුළු ප‍්‍රවාහන අංශයේ තාක්ෂණය, රූපවාහිනිය ආදී මේ සෑම ක්ෂේත‍්‍රයක්ම අතිශය දියුණුවක් ලබද්දී භූතයින්, හොල්මන් ආදී සංකල්ප එදා ස්වරූපයෙන්ම අදත් හුදීජනයාගේ සිත්හි හොල්මන් කරමින් සිටිනවා පමණයි නේද?

පසුගිය දිනවල ගලගෙදර රෝහලට ලිපි කිහිපයක්ම ලැබී තිබිණි. ඒ බොහෝමයක සඳහන්ව තිබුණේ යමක් නොපෙනෙන පමණින් ප‍්‍රතික්ෂේප කිරීම විද්‍යාත්මක දැයි යන ප‍්‍රශ්නයයි. ඇත්තෙන්ම අප දේව සංකල්පනා මෙන්ම භූත අවතාර හොල්මන් හා යක්ෂයින් පේ‍්‍රතයින් හා කුම්භාණ්ඩයින් විශ්වාස කරන්නේ නැහ. එසේ ඒවායින් අපට ශතපහක වත් ප‍්‍රයෝජනයක් නොමැති බැවිනි. නොපෙනෙන දේවල් විශ්වාස කිරීම සැබැවින්ම අනුවණ කමකි.

ඉතා වෙහෙස මහන්සි වී විභාගය සමත්වූ පසු ගුරුවරුන්ට හා මාපියන්ට ස්තුතිකරනවා වෙනුවට දෙවියන්ට පුදපූජා පවත්වන අයුරු අපි කොතෙකුත් දකිමු. තමන්ගේ ආත්ම විශ්වාසය පිළිබඳ තමන් තුළ ඇති තක්සේරුවේ තරම විනා අන් කිසිවක් නොවේ. නොපෙනෙන බලවේග විශ්වාසයට ගන්නන් තුළද නොපෙනෙනා බලවේග වලට බයවන පුද්ගලයන් තුළද මේ ආත්ම විශ්වාසය පළුදු වී ඇති බව නොකිවමනාය.