යුතුකම් දන්න අයනම් මට ජීවිතාන්තය පුරාවටම මන්තී‍්‍රකම දෙන්න ඕනෑ.
සුසිලූයි අනුර යාපායි මාව ජාතික ලැයිස්තුවට දානව කීවා. දැම්මේ නෑ.
එදා වැරදි දෙයක් කළ මට හරි මාර්ගයට එන්න බැරිද?
අපේ රටේ ඔයවගේ මානව හිමිකම් කඩවෙලා නෑ.
මාත් එක්ක හිටපු සේනාංකයේ 6000ක් යුද්ධයෙන් ඉවත් කරල ගෙවල් වලට යවපු එකම උදව්වක් නෙවෙයිද?
මම ඉන්දියාවෙ ඉඳල උදව් කරන්න ලංකාවට ආවෙ මගේ ජීවිතය පරදුවට තියලා.
ප‍්‍රභාකරන් යටත් වෙන්නෙ නෑ. ඔහු වෙඩි තියාගත්ත කියලයි මම හිතන්නෙ.
වෙළුපිල්ලේ ප‍්‍රභාකරන් හිටපු එල්ටීටීඊ නායකයා සියදිවි නසාගන්නට ඇති බවට හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ඉන්දීය මාධ්‍යයකට ප‍්‍රකාශයක් කර තිබිණි. කාලයක් ප‍්‍රභාකරන් සමග සමීප හිතවත්කම් දැක්වූ ඔහු ඒ පිළිබඳව ඉරිදා ලංකාදීපය සමඟ පැවැති සාකච්ඡාවේදී මෙසේ කීය.
ප‍්‍රශ්නය - ප‍්‍රභාකරන්ගෙ අවසන් අවස්ථාව පිළිබඳව ඔබ විදේශ ජනමාධ්‍යයකට කරුණු දක්වල තිබුණා.
පිළිතුර - ඔව්. ඔවුන් මගෙන් ඒ ගැන ඇහුවා. ප‍්‍රභාකරන්ගෙ අවසානය සිදුවිය හැකි යැයි මම හිතන ආකාරය මම ඔවුන්ට කිව්වා.
ප‍්‍රශ්නය - ඔබ හිතන්නේ කියන්නෙ ඇයි?
පිළිතුර - මම ඒ අවස්ථාවෙ එතැන හිටියෙ නැහැ. හැබෑ සිදුවීම මම දන්නෙ නැහැ. මම බොහොම ළඟින් ප‍්‍රභාකරන් ඇසුරු කළ කෙනෙක්. ඔහුගේ ගති සිරිත් මම හොඳටම දන්නවා. ඔහු කීයටවත් හමුදා ප‍්‍රහාරයකින් මිය යන්නේ නැහැ. කිසිසේත්ම යටත් වෙන්නෙත් නැහැ. ඒ චරිතයෙ හැටියට හමුදාවට අහුවීමට පෙර ඔහු තමන් විසින්ම ඔළුවට වෙඩි තියාගන්න ඇති කියලයි මගේ විශ්වාසය. ඒ අනුව මම මගේ ප‍්‍රකාශය කළා.
ප‍්‍රශ්නය - ඔබ තනිවී ඉන්න අවස්ථාවෙ මේ වගේ ප‍්‍රකාශයක් කළේ?
පිළිතුර - මම තනිවෙලා නැහැ. මීට පෙර කවුරුවත් මගෙන් එහෙම ප‍්‍රශ්නයක් අහල තිබුණේ නැහැ. දේශීය මාධ්‍යවේදීන්වත් අහල තිබුණේ නැහැ. ඒ මාධ්‍යවේදියා ඇහුව දේට මම උත්තර දුන්නා. එපමණයි.
ප‍්‍රශ්නය - ජිනීවා මානව හිමිකම් චෝදනාවලින් අපේ අය ගලවාගැනීමේ චේතනාවක් තිබුණද?
පිළිතුර - අපේ රටේ ඔය වගේ මානව හිමිකම් කඩවෙලා නැහැ. එකම දේ මගෙන් අහපු ප‍්‍රශ්නයට මට තේරුණ දේ කිව්වා.
ප‍්‍රශ්නය - ඔබ වසර කීයක් ප‍්‍රභාකරන් ඇසුරු කළාද?
පිළිතුර - අවුරුදු 25 ක් විතර
ප‍්‍රශ්නය - ප‍්‍රභාකරන්ගෙ සිරුර හඳුනාගැනීමට ඔබ එම ස්ථානයට යැව්වේ කවුද?
පිළිතුර - මහින්ද රාජපක්ෂ
ප‍්‍රශ්නය - සරත් ෆොන්සේකා නෙවෙයිද?
පිළිතුර - නැහැ. සරත් ෆොන්සේකා කිව්වේ පට්ටපල් බොරු. එයාගෙ පණ්ඩිතකම් කියවගෙන කියවගෙන ගියා. කරුණා අම්මාන් යුද්ධයට ශත 5 ක්වත් උදව්වක් කළේ නැහැ කිව්වා.
ප‍්‍රශ්නය - ඔබ යුද්ධයට කළ උදව්ව මොකක්ද?
පිළිතුර - එදා මම සියල්ල එපා කියල ඉන්දියාවට ගියා. මම ප‍්‍රභාකරන්ගෙ කි‍්‍රයා පිළිවෙතට එකඟ වුණේ නැහැ. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා, ගෝඨාභයයි, හුළුගල්ලයි ඉන්දියාවට එවල මාව ගෙන්වාගත්තා. මම යුද්ධයට උදව් කරපු එකට ප‍්‍රති උපකාර හැටියට මට මන්තී‍්‍රකමක් දුන්නා. ඇමැතිකමක් දුන්නා. එහෙම නැතිව මහින්ද රාජපක්ෂ මාව යළි ගෙන්වාගන්න හේතුවක් තියෙන්න එපායැ. මහින්ද මගේ ඥාතියෙකුත් නෙවෙයිනේ. මම කොහේවත් හිටපු ත‍්‍රස්තවාදියෙක් විදිහටම ඉන්න අරින්න තිබුණානේ. ඒක ළදරු පාසල් යන දරුවෙක්ට උනත් තේරෙන දෙයක්. මම ප‍්‍රභාකරන් එක්ක අමනාපයෙන් ඉන්දියාවට ගියේ. ඉන්දියාවෙ ඉඳල ඇවිල්ල මම රජයට යුද්ධය දිනන්න උදව් කළා.
ප‍්‍රශ්නය - යුද්ධය දිනන්න ඔබ කළ උදව්ව මොකක්ද?
පිළිතුර - මාත් එක්ක හිටිය හමුදා සේනාංකයෙ 6000ක් යුද්ධයෙන් ඉවත් කරල ගෙවල්වලට යවපු එකම උදව්වක් නෙවෙයිද? ඒ සිද්ධියෙන් පස්සේ තමයි ප‍්‍රභාකරන්ගෙ බලය හීනවෙන්න ගත්තෙ. මම එල්ටීටීඊ එකෙන් ඉවත්වීමම යුද්ධය දිනන්න උදව්වක් නෙවෙයිද? සරත් ෆොන්සේකාට ෆීල්ඞ් මාෂල්කම හම්බ වුණාට පස්සේ අතීතය අමතක වෙන්න ඇති. කිසිම උදව්වක් කළේ නැහැ කියන්නේ එයාගෙ තියෙන බොහොම නරක ගතියක්. සරත් ෆොන්සේකා ජනාධිපතිවරු තුන්දෙනෙක් යටතේ යුද්ධය කළා. නමුත් එයාට යුද්ධය ජයග‍්‍රහණය කරගන්න බැරිව ගියා. චන්ද්‍රිකා එයාව විශ‍්‍රාම යැව්වා. මහින්ද රාජපක්ෂ නැවත ඔහු ගත්තා. වසර 22ක් එයා ඔය යුද්ධයට සම්බන්ධවෙලා හිටිය. ඒත් දිනාගන්න පුළුවන් වුණේ මහින්ද රාජපක්ෂගෙ කාලයෙදි. මම මහින්ද රාජපක්ෂ එක්ක හිටියෙ. සරත් ෆොන්සේකා මුල් ජනාධිපතිවරු දෙන්නත් එක්ක ඉන්න කාලෙ මම හිටියෙ එල්ටීටීඊයෙ. මම කැඩිල ආවට පස්සේ තමයි යුද්ධය දිනුවෙ. හමුදාව විශිෂ්ඨව කි‍්‍රයා කළ එක ඇත්ත. ජයග‍්‍රහණයට මගෙනුත් විශාල දායකත්වයක් ලැබුණා.
ප‍්‍රශ්නය - යුද්ධය පැවැති කාලයෙදි ඔබ සරත් ෆොන්සේකා එක්ක සාකච්ඡා කරල තියෙනවද?
පිළිතුර - බොහොම අවස්ථාවලදී සාකච්ඡා කරල තියෙනවා. හමුවී තියෙනවා. අනන්ත අප‍්‍රමාණ වශයෙන් යුද්ධයට අදාළ කරුණු ගැන කතා කරල තියෙනවා.
ප‍්‍රශ්නය - ඔබ වචනයෙන් පවා යුද්ධයේ ජයග‍්‍රහණයට උදව් කළා කියලද කියන්නේ.
පිළිතුර - ඔව්. මිනිස්සුන්ගෙන් උදව් අරගෙන මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයා ජනාධිපති වුණාට පස්සේ ඒ උදව් අමතක කරල බලූ මාක් එකට දාන එක වැරදියි. මම ඉන්දියාවෙ ඉඳල උදව් කරන්න ලංකාවට ආවෙ මගේ ජීවිතය පරදුවට තියලා. කොටි සංවිධානය අත ඇරල දාපු එකට ඒ අය බලාගෙන හිටියෙ මාව මරල දාන්න. ඒ තර්ජනය අදටත් නැහැ කියල කියන්න පුළුවන්ද? එහෙම කරපු මට බොරුවට සීනි බෝලයක් පෙන්නුවා. මට ඡන්දය ඉල්ලන්න පුළුවන්. ඒත් කොටින්ට උදව් කළ දෙමළ ජනතාව මාව ද්‍රෝහියෙක් විදිහට සලකාවි. යුතුකම් දන්න අය නම් මට ජීවිතාන්තය පුරාවටම මන්තී‍්‍රකම දෙන්න ඕනෑ.
ප‍්‍රශ්නය - දැන් ඔබට මොකද වෙන්නෙ?
පිළිතුර - මම දිගටම දේශපාලනය කරනවා. මෙච්චර උදව් කරලත් සන්ධානයෙ ජාතික ලැයිස්තුවට දානව කිය කියා ඉඳල අන්තිම මොහොතෙ දැම්මෙ නැහැ.
ප‍්‍රශ්නය - ජාතික ලැයිස්තුවෙන් කපා දැම්මේ ඇයි?
පිළිතුර - දන්නේ නැහැ. ජාතික ලැයිස්තුවට දානව කිය කියා ඉඳල අන්තිම මොහොතෙ කපා දැම්මා.
ප‍්‍රශ්නය - ජාතික ලැයිස්තුවෙන් දෙන්නම් කිව්වේ කවුද?
පිළිතුර - අනුර පි‍්‍රයදර්ශන යාපයි, සුසිල් පේ‍්‍රමජයන්තයි.
ප‍්‍රශ්නය - ඔබ මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා හමුවී කතා කළාද?
පිළිතුර - මෙතෙක් නැහැ.
ප‍්‍රශ්නය - මොනවද කරන්න හිතාගෙන ඉන්නෙ?
පිළිතුර - කරුණා අම්මාන්ට කැමැති මිනිස්සු තවම නැගෙනහිර ඉන්නවා. ඒ අය බොහොමයක් සුරක්ෂිත වුණේ මම නිසා. ස්වාධීනව දේශපාලනය කළා නම් මම දිනනවා. මට අවශ්‍ය වී තිබුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යූහයට ඇවිත් ජාතික දේශපාලනය කරන්නයි. නමුත් ස්වාධීනව කටයුතු කිරීමේ අවස්ථාව මට ලැබිල තිබුණේ නැහැ. බලන්න ස්වාමිනාදන් රනිල්ගෙ මිතුරෙක්. ඔහුට අමාත්‍යාංශයක් දීල කොයිතරම් සේවයක් කරගන්නවද? මට හොඳ සේවයක් කරන්න අමාත්‍යාංශයක් ලැබුණේ නැහැ. මට උපකාරයක් වශයෙන් අමාත්‍යාංශයක් දුන්නේ නැහැ. හිටපු ජනාධිපතිතුමා රටේ සංවර්ධන වැඩ කළා. නමුත් ජනතාවගෙ හදවතට දැනෙන සේවයක් වුණේ නැහැ. මට බාරදී තිබුණු අමාත්‍යාංශයෙ මට්ටමින් යමක් කරගන්න බැරි වුණාට රාජපක්ෂ රජයේ හිටපු ඇමැතිවරු ගණනාවක් නැගෙනහිර සංවර්ධනයට උදව් කළා. ඒ කාලය තුළ සිංහල, දෙමළ මිනිස්සු අතර සංහිඳියාවක් ඇති කළා. මහින්ද රාජපක්ෂට නැගෙනහිරින් ඡන්ද වැඩි වුණේ ඒ නිසයි.
ප‍්‍රශ්නය:- සරත් ෆොන්සේකාගෙ ප‍්‍රකාශය ඔබ ප‍්‍රතික්ෂේප කරනවාද?
පිළිතුර:- ඔව්. කවුරු මොනවා කිව්වත් රටට සාමය ගෙන ඒමේ පළමු නියමුවා මම. රට වෙනුවෙන් හොඳ වැඩක් කළා කියලා මම තෘප්තිමත්. මුලදි වැරදි මාර්ගයක ගිය එක ඇත්ත. බුදුහාමුදුරුවොත් වැරදි මාර්ගයෙ ගිය අනන්තවත් මිනිස්සු යහමඟට ගෙනැල්ල තිබුණා. එදා වැරදි දෙයක් කළ මට හරි මාර්ගයට එන්න බැරිද? මේ රටේ වැඩි දෙනා බෞද්ධාගමිකයො. ඔවුන් ආගමානුකූලව මම දිහා බැලූවත් මට සාධාරණයක් කරාවි. දේශපාලනඥයො කියන ජරා ජාතිය මොනව කළත් පුද්ගලිකවම මගේ මැදිහත්වීම ගැන සතුටු වෙනවා. කවුරු මොනවා කිව්වත් මේ රටට මම විශාල සේවයක් කර තිබෙනවා. මම කරපු උදව් කාගෙ කාගෙත් හිත්වල ඇති.
ප‍්‍රශ්නය - ඔබ දේශපාලනය හැර වෙනත් වෘත්තියක යෙදිල ඉන්නවද?
පිළිතුර - අපේ පරම්පරාවම ගොවිතැන් කළ අය. ජීවනෝපාය වුණේ කෘෂිකර්මය. මටත් පිය උරුමයෙන් හිමිවූ ඉඩකඩම් තියෙනවා. මම ඒවා දියුණු කර තියෙනවා.