මරණයට අභියෝග කරන පරකාය ප්‍රවේශය


සියල්ල හැරදා යා යුතු ගමන මරණයයි. ලොව සියල්ලෝම ඒ ගමන යා යුතුය. කවදා කවර වෙසෙකින් හමුවේදැයි නොදනිතත් ජීවිතයේ කවදා හෝ කවර තැනකදී හෝ මරණය හමුවීම නියතයකි.

නියත දහම ලෙස වෙන් වී යන්නට දිනය පැමිණෙන තෙක් අප ජීවත්වීම තුළ කරන්නේ තම අභිමතය හා සිතුවිලි ඔස්සේ ජීවිතය සොයා යාමය.
ඉකුත් සතියේදී අපි කය හැර යාම පිළිබඳව කතා කළෙමු. අද අප කතා කරන්නේ පරකාය ප‍්‍රවේශය පිළිබඳවය. යෝග ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කරමින් සමවතට සමවැදෙන ඍෂිවරුන්ට පරකාය ප‍්‍රවේශය ඔස්සේ තවත් කාලයක් මොලොව ජීවත් වෙන්නට විවරණ හිමිවේ.

මරණය ජයගන්නට හැකි ක‍්‍රමවේද පිළිබඳව ඍෂිවරුන් දිගු කාලයක් මුළුල්ලේ කළ අධ්‍යනයන්හි එක් ප‍්‍රතිඵලයක් ලෙස පරකාය ප‍්‍රවේශය සඳහන් කළ හැකිය.
පරකාය ප‍්‍රවේශය යනු තවත් ශරීරයකට ඇතුළු වීමයි. එහෙත් පරකාය ප‍්‍රවේශය සාමාන්‍යයෙන්  ඕනෑම අයකුට කළ හැකි දෙයක් නොවේ. ඍෂිවරුන්ට සහ සිත දියුණු කරගත් භාවනා යෝගියකුට මනෝමය කයින් වෙනත් මනුෂ්‍යයකුගේ සිරුරට ඇතුළු වී ඒ සිරුර පාලනය කරමින් සිටීමේ හැකියාව ඇත. එවිට ඒ සිරුර මෙහෙයවන්නා බවට පත්වන්නේ මනෝමය කය හිමි ඍෂිවරයා හෝ භාවනා යෝගියාය.

පෙර දවස වැඩ උන් ඍෂිවරුන් අධාර්මික රජවරුන් පහළව අධාර්මිකව පාලනය මෙහෙයවද්දී ඒ රජවරුන්ගේ සිරුරට ඇතුළු වී ඒ රජු මෙහෙයවමින් ධාර්මික පාලනයක් කෙරෙහි රජු මෙහෙය වූ බව සඳහන් වේ. ඍෂිවරුන් හා භාවනා යෝගීන් කිසිදු විටෙක තවකෙකුට අවැඩක් කරනු පිණිස පරකාය ප‍්‍රවේශය ප‍්‍රයෝජනයට නොගැනීමද මෙහිලා සටහන් කර තැබිය යුතු විශේෂ කරුණකි.

පරකාය ප‍්‍රවේශය ඔස්සේ සැමට හිතසුව පිණිස වන මෙහෙවරක් කළ හැකිනම් එම මෙහෙවර සාක්ෂාත් කරනු පිණිස උන්වහන්සේලා ඒ හැකියාව ප‍්‍රයෝජනයට ගත්හ.

කාලය අනුව සියල්ල වියපත් වීම ස්වභාව ධර්මයේ නියමයයි. මොහොතක් පසා සියල්ල වෙනස් වෙයි. ක්‍ෂණයක් ක්‍ෂණයක් පසා සියල්ල මරණයට පත්වෙයි. සොබාදහමේ එකී කොන්දේසිවලට පිටුපා යන්නට මනුෂ්‍යයාට හැකියාවක් නැත. මරණය හා අබල දුබල බව මිනිසාට උරුම නියතයක් වන්නේද එබැවිනි.
ඍෂිවරුන්ටද දැන් තම ශරීරය දුර්වලය අබල දුබල තත්ත්වයට පත් වී ඇත යන්න දැනෙන්නට පටන් ගන්නා අවධියක් එළඹේ. එසේ දැනුණු විට ඒ ඍෂිවරුන් කරන්නේ තම කය හැර දමා මියගිය (මොළයේ සෛල මිය යාමට පෙර) තවත් ශරීරයකට ඇතුළු වී ඒ ශරීරය මෙහෙයවමින් ජීවත් වීමයි.

පුද්ගලයෙක් මරණයට පත්වීමේදී හදවත නිහඬවීමත් සමඟම මොළයේ ෙසෙල සියල්ලම එකවර මැරීයන්නේ නැත. හදවත නිහඬ වූවත් මොළයේ ෙසෙල සියල්ල මැරීයාමට තවත් කාලයක් ගතවේ. ඍෂිවරු කරන්නේ කවර හෝ හේතුවක් මත මරණයට පත් තරුණ - යකුගේ සිරුරේ මොළයේ ෙසෙල මිය යාමට පෙර තම අබල දුබල ශරීරය හැර ගොස් අර තරුණ ශරීරයට ප‍්‍රවේශ වීමය. මොළේ ෙසෙල මිය යාමට පෙර එම ශරීරයට ඇතුළු වී නැවත එම සිරුරේ ප‍්‍රාණය හා ඉන්ද්‍රිය අවදි කරවා එම ශරීරය මෙහෙයවමින් ජීවත් වීමට ඉඩහසර ඍෂිවරුන්ට ලැබෙන බව යෝග ශාස්ත‍්‍රයේ සඳහන්ව ඇත.

මගේ ගුරුවරයා වුණේ රාමා මහේෂ්තුමා. එතුමා බෝලේ බාබා නමිනුත් හඳුන්වනවා. රාමා මහේෂ් තුමා ශිෂ්‍යයෙක් ව සිටියදී එතුමාගේ ගුරුතුමා වුණේ බෙංගාලි බාබාතුමා, බාබාජි කියලාත් එතුමා හඳුන්වනවා.

එතුමා රාමා මහේෂ්තුමාව ඉගෙන ගන්න ඉන්දියාවේ තවත් ඍෂිවරයෙක් ළඟට යවා තියෙනවා. රාමා මහේෂ්තුමාට ඒ ඍෂිවරයා මුණ ගැහෙන්න යන්න කියපු දවස් වෙද්දි එතුමාට ඒ ඍෂිවරයා ළඟට යන්න බැරිවෙලා. ටික කලක් ප‍්‍රමාද වී තමයි ගිහින් තියෙන්නේ.

මම ඔබ පැමිණෙන තෙක් බලා සිටියා. එහෙත් ප‍්‍රමාද වැඩියි. මා දැන් ශරීරය අත්හරින්නයි හදන්නේ. ඍෂිවරයා ප‍්‍රමාද වී පැමිණි රාමා මහේෂ් තුමාට එසේ කියා තිබෙනවා.

රාමා මහේෂ්තුමා සහ ඍෂිවරයාණන් වහන්සේ එක ගල් ලෙනක ඉද්දි ගංගා ගඟ දිගේ මළ කඳක් පාව එමින් තිබුණා. ඔහු මිය ගොස් ඇත්තේ නයෙක් දෂ්ඨ කරමින් බව ඍෂිතුමා දැනගත්තා. ඒ වගේම ඒ වෙද්දී ඔහුගේ මොළේ සෛල මියගිහිල්ලත් නෑ. මේ ඍෂිවරයා ඒ මෙහොතේ තම කය ඇත්හැර ගිහින් ඒ ශරීරයට ඇතුළු වෙලා.

 

 

ඉන්පසුව මාස දෙකක විතර කාලයක් ගියාට පස්සේ රාමා මහේෂ් තුමාට අර ඍෂිතුමා කතා කරනවා ඇහිලා තියෙනවා. ඒ තම ගුරුවරයාත් සමග. ඔහු පැමිණි තිබුණේ අලූත් ශරීරයක් එක්ක. මා අඳුරන්න බැරිද? මම ඒ ශරීරය අත්හැරලා ගිහින් දැන් අලූත් ශරීරයක ඉන්නවා කියලා එතුමා කියලා මේ රාමා මහේෂ් තුමා එතුමාගේ ගෝලයන් වූ අපට කියූ කතාවක්.

බෝගානාතර් ඍෂිතුමාත් මේ විදියට තමන්ගේ කය අත්හැරලා ගිහින් මියගිය චීන තරුණයකුගේ ශරීරයට ඇතුළු වෙලා තියෙනවා. ඉන්පසු එතුමා කාය කල්ප ඖෂධය හදලා එය භාවිත කරලා වහැරෙන්නෙ නැතුව ඉන්න පුළුවන් තත්ත්වය ලබාගෙන තියෙනවා. ඉන්පසුව උන්වහන්සේ සොරුබා සමාධියට සමවැදිලා ඒ

රාමා මහේෂ්තුමා

ඖෂධයෙන් දිව්‍යමය ස්වභාවයට, බ‍්‍රහ්මකාය ලැබීමේ තත්ත්වයට පත්වෙලා තියෙනවා. චීන ජාතිකයන් චීන තරුණයකුගේ සිරුරක් තුළ ජීවිතය ඇරඹූ බෝගානාතර් ඍෂිවරයා හඳුන්වන්නේ බෝයගේ ඍෂි නමින්.

පරකාය ප‍්‍රවේශය දුර්ලභ අත්දැකීමකි. අභිඥාවැඩු, සිත දියුණු කළ පුද්ගලයන්ට හැරෙන්නට සාමාන්‍ය පුද්ගලයන්ට හිතු මනාපයට පරකාය ප‍්‍රවේශය ඔස්සේ

නව ජීවන ඇරඹුමකට මාර්ගය සකස්කර ගත නොහැකිය. පරකාය ප‍්‍රවේශයේදී තම ශරීරය තාවකාලිකව අත්හැර යන අවස්ථාවකදී නම් දැඩි අධිෂ්ඨානයකට එළඹ ශරීරය වටා පටලයක් සේ ආරක්‍ෂාව යොදවා තම ශරීරයට සියුම් ආත්මවලට ඇතුළු වෙන්නට නොහැකි ලෙස තම ශරීරයෙන් පිටව යයි. එසේ ශරීරය ආරක්‍ෂා කර ගිය විට නිරුපද්‍රිතව පවතින ශරීරය වෙත නැවත පැමිණෙන්නට පුළුවන.

හිමාලයේ යෝගින් ඇසුරේ යෝග ශාස්ත‍්‍රය හදාරන්නට ගිය අර්ජුන වික‍්‍රමාරච්චි මහතා යෝග ශාස්ත‍්‍රය ඇසුරේ ලද අත්දැකීම් පාදක කරගෙන අප විසින් සම්පාදනය කළ ලිපි පෙළ නිසාම යෝග ශාස්ත‍්‍රය හැදෑරීම කෙරේ උනන්දු වූ පාඨක ඔබ වෙනුවෙන් නොමිලයේ යෝගී වැඩ මුළුවක් පැවැත්වීමට ශ්‍රී යෝගි පදනම කටයුතු සංවිධානය කර ඇත.

එළඹෙන 01 වැනිදා උදේ 8.00 සිට සවස 3.30 දක්වා කොළඹ ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි බස්නාහිර පළාත් සෞන්දර්ය කලා නිකේතනයේදී අර්ජුන වික‍්‍රමාරච්චි මහතා මෙහෙයවන මෙම වැඩමුළුව පැවැත්වෙන අතර දුරකථන අංක:- 0775856479, 0777980578, 0777449254 සහ 0774437698 ඔස්සේ මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ඔබට දැනගත හැකිය.

(එළඹෙන සතියේදී අපි තෙවැනි ඇස පිළිබඳව කතා කරමු.)


 

සටහන - සංජීවිකා සමරතුංග

හිමාලයේ යෝගීන් ඇසුරේ - 01

හිමාලයේ යෝගීන් ඇසුරේ - 02

හිමාලයේ යෝගීන් ඇසුරේ - 03

හිමාලයේ යෝගීන් ඇසුරේ - 04

හිමාලයේ යෝගීන් ඇසුරේ - 05

හිමාලයේ යෝගීන් ඇසුරේ - 06

හිමාලයේ යෝගීන් ඇසුරේ - 07