(*** මුදිතා දයානන්ද)
‘‘මාවනැල්ලේ බුදුපිළිමවලට හානි කිරීමේ සිදුවීමෙන් හා මගේ සම්බන්ධිකරණ ලේකම්වරයකුට වෙඩි තැබීමෙන් පස්සේ ඒ පිටුපස භයානක අන්තවාදී සංවිධානයක් ඇති බවට මට ලැබුණ තොරතුරු අනුව හැඟි ගිය නිසා ඒ ගැන අගමැතිවරයාත්, ජනාධිපතිවරයාත් දැනුවත් කළා. ආරක්ෂක කවුන්සිලයට එන්නැයි ජනාධිපති කිව්වත් ඒ සඳහා නිල දැනුම් දීමක් කළේ නැහැ’’ යැයි හිටපු අමාත්‍ය කබීර් හෂීම් මහතා ඊයේ (15) පැවසීය.
මගේ සම්බන්ධිකරණ ලේකම්ට පහර දුන්නේ මට කෙළින්ම පහර දෙන්න බැරි නිසා යැයි මම පෙන්වා දුන් විට මට ආරක්ෂාව දෙනවා කිව්වා. ඒක ලැබුණෙත් නැහැ යැයි ද ඔහු පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමිනි.
එහිදී රජයේ නීතිඥවරියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දෙමින් හිටපු අමාත්‍ය කබීර් හෂීම් මහතා මෙසේ ද පැවසීය.
කොමිසම - මොහොමඩ් තස්ලිම් කියන්නේ ඔබේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් ද?
සාක්ෂිකරු - ඔව්.
කොමිසම - ඇයි ඔබ ඔහුව එම තනතුරට තෝරා ගත්තේ?
සාක්ෂිකරු- ඔහු ප්‍රදේශයේ සමාජ සේවා කටයුතුවල නිරත වන ජනප්‍රිය පුද්ගලයෙක් නිසා මගේ වැඩවලට පහසුවෙයි කියලා හිතුවා.
කොමිසම - මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිදුවීමේ සැකකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඒ ගැන සොයන්න ඔබ ඔබේ සම්බන්ධීකරණ ලේකම් තස්ලීම්ව යොමු කළා ද?
සාක්ෂිකරු - නැහැ. මම ඒ වෙලාවේ ඔහුව එතනට යෙදෙව්වේ නැහැ. මොක ද ඔහු මුස්ලිම් අයෙක් නිසා ඒ වෙලාවේ එතනට යෙදවීම සුදුසු නැහැ කියලයි මම හිතුවේ.
කොමිසම - ඒත් ඔහු ඒ අත්අඩංගුවට ගත් පුද්ගලයා පොලිසියට ගෙන යනතුරුම ඒ පිටුපස ගොස් තිබෙනවා නේ ද? ඔහු කියන්නේ ඔබ තමයි ඔහුට යන්න කිව්වේ කියලා. ඔහු මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීමේ සිදුවීම ට සම්බන්ධ අබ්දුලු සාහිඩ් හා සාදික් යන දෙදෙනා දැන හඳුනන බව ඔබ දැන සිටියා ද?
සාක්ෂිකරු - නෑ මම ඒ බවක් දන්නේ නැහැ.
කොමිසම - ඔවුන් දෙදෙනා සැඟවී සිටි බව ඔබ දැන සිටියා ද?
සාක්ෂිකරු - ඔව්.
කොමිසම- ඔබ මේ සැකකරුවන් අත්අඩංගුවට ගන්න සහයෝගය දුන්නා ද?
සාක්ෂිකරු - ඔව්. මම පොලිසියට කතාකර ඒ ගැන නිතර විමසුවා. ප්‍රාදේශීය ලේකම්ට කතා කර උපදෙස් දුන්නා. මම ඔහුගේ පියා බව කියන ඊබ්‍රාහිම් මවුලවි හමුවන්න කීප දෙනෙක් පිටත් කළා. දරුවෝ ඉන්න තැන කියන්න නැත්නම් ඔහුවත් අත්අඩංගුවට පත්වෙයි කියලා බලපෑම් කර සැකකරුවන් ඉන්න තැන දැන ගන්න කියලා ඔවුන්ට උපදෙස් දුන්නා.
කොමිසම - ඔබ ඊබ්‍රාහිම් මවුලවි සමග කතා කළා ද?
සාක්ෂිකරු - මට එහෙම නම් මතක නැහැ. ඒත් මම යැවු පිරිස එතන ඉඳලා මට කතා කරලා කිව්වා ඔහු දරුවෝ ඉන්න තැන දන්නේ නැහැ කියනවා කියලා.
කොමිසම - ඔබ ඔහුව අඳුනන්නේ නැද්ද?
සාක්ෂිකරු - මම ඔහුව දැකලත් ඇති. ඒත් මේ අහවලා කියන්න දන්නේ නැහැ.
කොමිසම - ඔබ කොයි වෙලාවක හෝ කිව්වා ද බුදුපිළිම කඩපු අයෙක් අත්අඩංගුවට ගත්තාම ඔහු ‘‘පිස්සෙක්’’ කියලා ?
සාක්ෂිකරු - මම එහෙම කියපු බවක් මතක නැහැ. සමහර විට කියන්නත් ඇති.
කොමිසම - තවත් සැකකරුවන් දෙන්නෙක් අත්අඩංගුවට ගත්තාට පස්සේ ඔබ කිව්වාද මේක නිධන් ගන්න කරපු වැඩක් කියලා.
සාක්ෂිකරු - නැහැ. එහෙම දෙයක් කිව්වේ නැහැ. ඒත් මම මුස්ලිම් දේශපාලකයෙක් වීම නිසාද මන්දා මට විරුද්ධව මෙවැනි මතයන් ප්‍රදේශයේ ප්‍රචාරය වුණා.
කොමිසම - බුද්ධි අංශ වාර්තාවල එවැනි දෙයක් සඳහන්ව තිබෙන්නේ ඒ ප්‍රචාර නිසා විය හැකි බව ද ඔබ කියන්නේ?
සාක්ෂිකරු - එහෙම වෙන්න පුළුවන්. මට අවශ්‍ය වුණේ මේක හොයාගන්නයි. මේක සිදු වුණේ මගේ ප්‍රදේශයේ. ඒක මට බලපෑමක්. ඒ නිසා මේක හොයා ගන්න මට අවශ්‍ය වුණා.
කොමිසම - ජමාතේ ඉස්ලාම් සංවිධානය මාවනැල්ල ප්‍රදේශයේ සමාජ සේවා කටයුතු කළ බව ඔබ දන්නවා ද?
සාක්ෂිකරු - ඔව්. ළිං හැදීම, පුස්තකාලවලට පොත් ලබාදීම වැනි විවිධ කටයුතු ඔවුන් කළා.
කොමිසම - ඔවුන් ජාතික සංහිඳියාවට දායක වන ආකාරයෙන් මුස්ලිම් අයගේ රාමසාන් උත්සව සංවිධානය කළා නේද?
සාක්ෂිකරු - ඔව්.
කොමිසම- ඔබත් ඔවුන්ගේ උත්සව වලට සහභාගී වුණා නේද?
සාක්ෂිකරු - එහෙම දැනගෙන නෙවෙයි, මට ආරාධනා කළාම මමත් ගියා. උදව් ඉල්ලුවාම කළා. ඒත් මගේ දේශපාලන වැඩවලට ඔවුන් සම්බන්ධ කරගත්තේ නැහැ. ඒ මෙවැනි සංවිධාන දේශපාලන කටයුතුවලට සම්බන්ධ කරගන්න මගේ කැමැත්තක් නොතිබුණ නිසයි.
කොමිසම - හජ්ජුල් අක්බාර් නමැති මවුලවිවරයා අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු නිදහස් කරගන්න ඔබ මැදිහත් වීමක් කළා ද?
සාක්ෂිකරු - මට එහෙම නමක් නම් මතක නැහැ.
කොමිසම - ජමාතේ ඉස්ලාම් සංවිධානයේ නායකයා
සාක්ෂිකරු - ආ දැන් මට මතක් වෙනවා. මම එහෙම දැනගෙන නෙවෙයි මගේ ප්‍රදේශයේ කීප දෙනෙක් ඇවිත් මට කිව්වා, ඔහු අහිංසකයෙක් කියලා. ඒ නිසා මම ආරක්ෂක රාජ්‍ය ඇමතිටත් ඒ කාලේ සිටි ආරක්ෂක ලේකම්ටත් කතා කරලා මේ ගැන විමසා බැලුවා. ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් මට කිව්වා මේ ගැන විධිමත් පරීක්ෂණයක් යනවා. ඒ නිසා නිදහස් කරන්න බැහැ කියලා. මම ඒ ගැන අර පැමිණි පිරිසව දැනුවත් කළා.
කොමිසම - ඔබගේ සම්බන්ධිකරණ ලේකම්වරයා වූ තස්ලිම්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග වනාතවිල්ලුවට යැව්වේ ඇයි? ඔබ ඔහුට කිව්වාලු කොළඹින් පරීක්ෂණ කණ්ඩායමක් එනවා, ඒ අයට සහය දෙන්න කියලා. එහෙම කිව්වාද?
සාක්ෂිකරු - ඔව්, මම එහෙම කිව්වා. මේ පරීක්ෂණවලට උදව් කරන්න මට අවශ්‍ය වුණා. එයාලා මගෙන් ප්‍රදේශය දන්න දෙමළ කතා කළ හැකි අයෙක් ඉල්ලු නිසා මම තස්ලිම්ට කිව්වා ඒ අයට උදව් කරන්න කියලා. ඊට පස්සේ එයාල දිගින් දිගටම තස්ලිම්ව එයාලගේ වැඩවලට ඉල්ලුවාම මම යන්න කිව්වා. වනාතවිල්ලුවට යද්දි මම ඔහුට වෙනම කතා කළා. මේ යන්නේ ප්‍ර දේශයෙන් පිට ගමනක්. මේක තරමක් භයානකයි. ඔයා කැමති නම් යන්න කියලා.
කොමිසම - ඔබ ඇයි ඒක භයානකයි කිව්වෙ?
සාක්ෂිකරු - මේ වෙනකොට මට ලැබුණ තොරතුරු අනුව අන්තවාදි සංවිධානයක් මාවනැල්ල ප්‍රදේශයේ දේශන පවත්වා ඇති බවත් ඔවුන් අන්‍යාගමිකයන්ට හානි කිරීමක් ගැන කතා කර ඇති බවත් දැනගත්තා. ඒ නිසා මේ පිටුපස භයානක බලවේගයක් ඇතැයි සිතුනා. ඇත්තටම තස්ලිම් මේ ගමන ගිය බව දන්නේ නැහැ පිටස්තර කිසිවෙක්. ඒ වුණත් ඔහු එහි ගිය බව දැක්වෙන ඡායාරූපයක් මුහුණු පොතේ පලවී තිබුණා. ඒකෙනුත් ඔවුන් බරපතළ සංවිධානාත්මක පිරිසක් බව දැනුණා. ඔහු වනාතවිල්ලුවේ ගිය වෙලාවේ සැකකරුවන් හතර දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණා. අවි ආයුධ රැසකුත් සොයා ගත් බව කිව්වා. ඉන් දින දෙකකට පස්සේ තස්ලිම්ට වෙඩි තිබ්බා. ඒ දිනයට පසුදින තමයි මම මහා සංඝරත්නයට දානයක් දීලා කෝටි හත්සීයක මුදලක් පන්සල්වලට බෙදන්න හිටියේ. ඒ වෙලාවේ මේක කළේ මට ගහන්න බැරි නිසා කියලා මට හිතුණා.
කොමිසම- ඉතිං ඔබ මොනව ද කළේ?
සාක්ෂිකරු- මම මේ ගැන කැබිනට් මණ්ඩලයේදී කතා කළා. මට ආරක්ෂාවත් ඉල්ලුවා. ඒත් මටම තමයි ඒ ආරක්ෂාව සලසා ගන්න සිදු වුණේ.
කොමිසම - ඔබ අගමැතිවරයා සමග හෝ ජනාධිපතිවරයා සමග කතා කළේ නැද්ද?
සාක්ෂිකරු - මම කතා කළා. ජනාධිපතිවරයා කිව්වා මට ආරක්ෂක කවුන්සිලයට ඇවිත් දන්න දේවල් ටික කියන්න අපි මොනවා හරි කරමු කියලා. ඒත් මට ඒ සඳහා නිල ආරාධනාවක් නොකළ නිසා අදටවත් ඒක කරන්න ලැබුණේ නැහැ.
කොමිසම- මේ අත්අඩංගුවට ගත් අය නිදහස් කරන්න කියලා කවුරුහරි බලපෑම් කළාද?
සාක්ෂිකරු- ඒ ගැන මම දන්නේ නැහැ. ඒත් ආණ්ඩුවේ මුස්ලිම් දේශපාලකයන් බලපෑම කරනවා කියපු නිසා මම මාධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වා කිසිම කෙනෙක් මේ අය නිදහස් කරන්න බලපෑම් නොකළ යුතුයි. එහෙම කරනවා නම් ඒක බරපතළ වරදක් කියලා.
කොමිසම- ඔබ දැන ගත්තාද ඒ බලපෑම් කළ අය කවුද කියලා?
සාක්‍ෂිකරු- මාධ්‍යවලින් දැන ගත් පරිදි ඒ අසාද් සාලි මහතායි.
කොමිසම- මේ අයගෙන් දෙන්නෙක් නිදහස් කළ බව ඔබ දන්නවාද?
සාක්ෂිකරු- ඔව් මම දැනගත්තා.
කොමිසම- ඒ අය කවුද කියලා ඔබ දැන ගත්තා ද?
සාක්ෂිකරු- නැහැ. මම ඒ ගැන සෙව්වේ නැහැ. ඒක මට අදාළ නැහැ. මම වරින් වර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කතා කරලා මේක පරීක්ෂණය විධිමත්ව කරනවාද කියලා හොයා බැලුවා. මට නීතිය සාධාරණය ක්‍රියාත්මක වෙනවා කියලා විශ්වාසයක් තිබුණ නිසා ඒ ගැන පස්සෙන් පන්නලා හෙව්වේ නැහැ. අනික ඒ දවස්වල මට දේශපාලන වශයෙනුත් විශාල වැඩ කොටසක් පැවරී තිබුණ නිසා මේ ගැන වැඩිය හොයන්න වෙලාවක් වුණේ නැහැ.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද ඊයේ කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේය.
ප්‍රජා පොලිස් ඒකක හරහාද අන්තවාදි ක්‍රියාකාරකම් ගැන සොයා බැලීමට කටයුතු කළත් ඒ එලෙසින්ම සාර්ථක නොවු බව ඔහු ඊයේ සාක්ෂියේ දී පිළිගත්තේය. එක් එක් කාලයේදී රජයේ උවමනාව අනුව මේ ප්‍රජා පොලිස් ඒකක මෙහෙයවීමට සිදුවු බව ද රජයේ ප්‍රමුඛතාව මත්ද්‍රව්‍ය වැටලීම් වු විට ඒ ගැන සෙවු බව ද ඔහු පැවසීය.