අටුලුගම ප්‍රදේශයේදී තමාගේ රාජකාරියට බාධා කරමින් තම මෝටර් රථයටද පහරදීමේ සිද්ධිය පිළිබඳ බණ්ඩාරගම පොලිසිය සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් නොවන බව සඳහන් කරමින් බණ්ඩාරගම ප්‍රාදේශීය මාධ්‍යවේදී බිමල් ශ්‍යාමන් ජයසිංහ මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත ලිඛිත පැමිණිල්ලක් කර ඇති බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.
සිද්ධිය වාර්තා වූයේ රාමසාන් උළෙල පැවැති ඉකුත් මාසයේ 24 වැනිදාය. ඒ වනවිට කොරෝනා මාරාන්තික වයිරසයේ තර්ජනය ඉතා තදින් දැනෙමින් තිබිණි. එම හේතුව නිසා සමාජ දුරස්ථකරණය ඇති කිරීම පිණිස රජය ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කර නිවෙස් තුළම රාමසාන් අවුරුද්ද සැමරීම සිදු කරන ලෙස රජය උපදෙස් දුන්නේය. බණ්ඩාරගම ප්‍රාදේශීය මාධ්‍යවේදී බිමල් ශ්‍යමන් ජයසිංහ මහතා වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ලිඛිතව කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ අටුලුගම ප්‍රදේශවාසීන් රාමසාන් අවුරුද්ද රජයෙන් ලබාදී තිබෙන උපදෙස්වලට අනුව පල්ලි වසා නිවෙස්වල සමරන ආකාරය පිළිබඳව පල්ලි සංගමයේ සභාපති හජිම් හජ්ජියාර් මහතාගේ අදහස් ලබාගෙන ඔහුගේ උපදෙස් මත පල්ලි වසා තිබෙන අයුරු වීඩියෝ ගත කර නැවත නිවෙස කරා මෝටර් රථයෙන් පිටත්වීමට සූදානම් වීමේ දී දෙසීයකට ආසන්න පිරිසක් මෝටර් රථය වට කරගෙන ආවේගශීලිව හැසිරී මෝටර් රථයට පහර දෙමින් අලාභහානි කළ බවය. එම පහර දීමෙන් මෝටර් රථයට දෙලක්ෂ තුන් දහසක අලාභයක් සිදුවී ඇති බවද ඒ මහතාගේ ලිඛිත පැමිණිල්ලේ සඳහන්ය.
තමන් සේවය කරන මාධ්‍ය ආයතනයකට ප්‍රවෘත්ති ලබා දීම සඳහා ගිය මාධ්‍යවේදියකුට එල්ල කළ ප්‍රහාරය අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. මාධ්‍ය වාර්තාකරණ පහසු කටයුත්තක් නොවේ. මාධ්‍යවේදියකු වාර්තා කරනු ලබන ඕනෑම ප්‍රවෘත්තියකට අදාළව එක් පිරිසක් සතුටු වෙති. තවත් පිරිසක් උරණ වෙති. උරණවන පිරිස් කුපිතව පෙරළා පහර දුන් අවස්ථා මාධ්‍යවේදීන් මරා දැමූ අවස්ථා මෙරට මාධ්‍ය ඉතිහාසයෙන් ලෝක මාධ්‍ය ඉතිහාසයෙන් ඕනෑ තරම් වේ. අටුලුගමින් වාර්තා වූයේත් එබඳු නින්දිත ප්‍රහාරයකි.
බණ්ඩාරගම අටුලුගම ගම්මානය කොරෝනා වසංගතයත් සමඟ විශේෂ අවධානයට ලක් වූවකි. කොරෝනා ආසාදිතයන් නිසා මුළුමනින්ම හුෙදකලා කෙරුණු ලංකාවේ ගම් අතර අටුලුගමද විය. එසේ හුෙදකලා කර තිබියදීත් නිරෝධායන නීති තඹ දොයිතුවකට නොසැලකූ අටුලුගම ගම්මානයේ පදිංචි ඇතැම් පිරිස් බොල්ගොඩ ගඟ ඔස්සේ එහා මෙහා ගිය බව මාධ්‍ය වාර්තා කළේය. එබඳු හිතුවක්කාරකම්, මුළු රටම කැරකොප්පුවක් බවට පත් කිරීමට වුවද හේතුවිය හැකිය. එහෙයින්ම බොල්ගොඩ ගඟට නාවික හමුදාවේ විශේෂ ආරක්ෂාව යෙදවීමට සිදුවූ බවද සත්‍යයකි.
අටුලුගම ගමේ ඉතිහාස කතාව එපරිදි වන විට ඔවුන් රාමසාන් අවුරුද්ද සමරන්නේ කෙසේදැයි යන්න විශේෂ අවධානයට ලක්වන්නකි. බණ්ඩාරගම ප්‍රාදේශීය මාධ්‍යවේදියා යන්නේ එම රාජකාරිය ඉටු කිරීමටය. එහිදී කුපිත වූ පිරිස් හැසිරුණු ආකාරය සම්බන්ධ වීඩියෝ පට තිබේ. ඒවා නැරඹීමේදී වාහනයේ දොරගුළු දා නොතිබුණේ නම් මාධ්‍යවේදියාගේ ජීවිතයට පවා අනතුරක් විය හැකි බවට සැක මතුවේ.
බණ්ඩාරගම ප්‍රාදේශීය මාධ්‍යවේදියා වැඩ බලන පොලිස්පතිවරයාට කළ ලිඛිත පැමිණිල්ලේ සඳහන් වන්නේ සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසියේ විමර්ශන සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත් නොවන බවය. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් හත් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් තවත් පුද්ගලයන් පනස් දෙනකුගේ පමණ සේයා රූ සහ වීඩියෝ පට පොලිසියට බාර දුන්නද විමර්ශන සිදු නොවන බවද බණ්ඩාරගම ප්‍රාදේශීය මාධ්‍යවේදියා සඳහන් කරයි.
පොලිසිය තම වගකීම පැහැර හරින සෑම අවස්ථාවකදීම එය සමාජයට ඉතා අහිතකර ලෙස බලපාන බව අමුතුවෙන් කිව යුතු නොවේ. පොලිසිය සිය වගකීම ඉටු නොකරන්නේ යැයි පෙනුණු විට පළමුව බිඳි වැටෙන්නේ නීතියේ ආධිපත්‍යය වේ. නීතියේ ආධිපත්‍යය බිඳ වැටුණු විට ආදේශ වන්නේ කැලෑ නීතියයි. එසේ කැලෑ නීතිය ආදේශ වූ විට සමාජයේ සන්සුන් සංහිඳියාව බිඳී යයි. එබඳු පරිසරයක කිසිවකුගේ පැවැත්ම තහවුරු නොවේ. රටකට අත්වීමට ඊටත් වඩා විනාශයක් තවත් නැත.
රටකට නීතියක් යනු ගඟකට ඉවුරක් බඳුය. ඉවුර බිඳී ගිය කල්හි ගඟ අයාලේ යයි. කුමන හෝ හේතුවක් නිසා කුමන හෝ බලපෑමක් නිසා තම වගකීම ඉටු නොකරන පොලිසියක් වේනම් ඔවුන්ගේ ක්‍රියා කලාපය නිසා නිර්මාණය වන්නේ චිකාගෝවක් බව තේරුම් ගන්නේ නම් එය රටේ අනාගතයට යහපත් වනු ඇත.