ලොව පුරා වෙසෙන කතෝලික බැතිමතුන්ගේ පූජනීය තැනක් ලෙස කැනඩාවේ මොන්ටි‍්‍රයල් නගරයේ පිහිටි ශාන්ත ජුසේ මුනිඳුන්ගේ දේවස්ථානය සඳහන් කළ හැකිය. කිතුණු බැතිමතුන් පමණක් නොව, කැනඩාවේ සංචාරය කරන බොහෝ අන්‍යගමික විදේශිකයින් අතරද මෙය වඩාත් ප‍්‍රකටය. කැනඩාවේ සංචාරයක යෙදෙන්නේ නම් බොහෝ සංචාරකයෝ මෙම දේවස්ථානය වැඳපුදා ගැනීමට යාම අමතක නොකරති. එලෙසින් ජාති-ආගම් භේද නොතකා බොහෝ සංචාරකයින් මෙතැනට පැමිණෙන්නේ බාරහාර වීමටය. නැතහොත් බාරවූ දේ ඔප්පු කිරීමටය. ඒත් නැතහොත් ප‍්‍රාර්ථනාවක් ඉටුකර ගැනීම වෙනුවෙන් දෙවියන්වහන්සේ ඉදිරියේ යාඥා කිරීමටය. එය සැබැවින්ම හාස්කමක් නොවේ. හාස්කමකට එහා ගිය සත්‍යයක් එහි ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරති. පසුගියදා කැනඩාවේ කළ සංචාරයේදී, මේ පූජනීය ස්ථානය වෙත යාමටද අවකාශය සැලසිණි. ඒ කැනඩාවේ වෙසෙන අපේ සුමිතුරා වන සුදේශ් මුතුගේ, හා මොන්ටි‍්‍රයල්හි වෙසෙන මිතුරා වන සුමිත් තිසේරා නිසාය.
![]() |
![]() |
|
එක්තරා උදෑසනක සුමිත්ගේ නිවසේ සිට අපි මේ දේවස්ථානය වැඳ පුදා ගැනීම සඳහා පිටත්වීමු. මොන්ටි‍්‍රයල් නගරයේ උස් භූමියක මෙම ශාන්ත ජුසේතුමාගේ දේවස්ථානය පිහිටා ඇත. එනිසා මුළු නගරයටම මෙය දර්ශනය වේ. උදෑසන රැකියා සඳහා පිටත්ව යන බොහෝ දෙනා මෙම දර්ශනය දෙස බලා දවසේ කටයුතු සාර්ථක කර ගැනීමට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ප‍්‍රාර්ථනා කරති. සුමිත් තිසේරා මේ සියල්ල ගැන පවසමින් රථය පැදවූ අතරේ, කෙමෙන් කෙමෙන් අප දේවස්ථාන භූමිය වෙත ළඟා වී සිටියෙමු. උදෑසන වුවද කැනඩාවේ විවිධ ප‍්‍රාන්තවලට අයත් රථ මෙන්ම, ඇමෙරිකානු කලාපයේ විවිධ ප‍්‍රාන්ත වලට අයත් රථ විශාල සංඛාවක් නවතා තිබෙනු ඇපට දැක ගත හැකි විය. බැතිමත්තු එතරම්ම සංඛ්‍යාවක් උදෑසනම පැමිණ සිටියහ. රථ ගාලට මෙහායින් වූ මහා මාර්ගයේ සිට දේවස්ථානය මුදුනට යන පඩිපෙළ දක්වා භූමියේ මැදට වන්නට සුදු ඉරිවලින් සළකුණු කර තිබේ. ඒ මතින් දණගා යන බැතිමතුන් සිටින වගද සුමිත් කීවේය. එලෙසින් ගමන් කරන්නේ ඊට පෙරවූ බාර ඔප්පු කිරීම සඳහාය.
මොන්ටි‍්‍රයල්හි මවුන්ට් රෝයල් නොති‍්‍රදාමේ පාසල අසල මෙම දේවස්ථානය තැනීමේ කටයුතු ආරම්භ වූයේ 1904 දී පමණය. ඒ කුඩා බිම් පෙදෙසකය. නමුත් 1916 පමණ වන විට බැතිමතුන් දහසකට පමණ ආසන පහසුකම් ඇති පරිදි සංවර්ධනය කෙරිණි. යාච්ඥාගෘහය සෑදීම ආරම්භ කෙරුණේ 1924 දී වන අතර 1967 පමණ වන විට එය සම්පූර්ණයෙන්ම නිම කරන ලදී. ප‍්‍රධාන අල්තාරය අබියස තනා ඇති ප‍්‍රතිමාව නිමවා ඇත්තේ කැරරා නමැති සුවිශේෂි මාබල් වර්ගය යොදාගෙනය. එය ඉතිලියානු ජාතික මූර්තිශිල්පියකු අතින් නිම කරන ලද්දකි. ශාන්ත ජුසේතුමාගේ මෙම ප‍්‍රතිමාව උසින් අඩි නවයක් වන අතර බර කිලෝග‍්‍රෑම් 2300ක් පමණ වේ. මෙම ශාන්ත ජුසේ තුමාගේ දේවස්ථානය ඉදිකිරීමට 1937-39 කාලයේදී පෝල් බෙලට් පියතුමා ගෘහනිර්මාණ ශිල්පියා ලෙස දායක වී ඇත. ලොව තෙවැනියට විශාලතම සාමයේ දෙව්මවුතුමියගේ ගෘහය තනා ඇත්තේ මෙතැනය.
මෙම දේවස්ථානය ගැන කතා කිරීමේදී මෙම ශුද්ධ භූමිය ඉදිකර එහි ප‍්‍රථම දේව මෙහෙය කළ ඇන්ඩෲ සහෝදරතුමාගේ නාමය සදා අමරණීය නාමයක් ලෙස සනිටුහන් වී තිබේ. සහෝදරතුමා ස්වර්ගස්ථ වූ පසු එතුමාගේ හදවත මංජුසාවක බහා මෙහි ප‍්‍රදර්ශනයට තබා තිබේ. ඊට අමතරව එතුමාගේ සැබෑ ජීවිතයේ භාවිතා කළ දේ ප‍්‍රදර්ශනයට තබා ඇති අතර, ජීවමාන ස්වරූපයට සමවූ ඉටියෙන් කරන ලද රූපද දැකගත හැකිය. මෙලෙසින් එතුමාගේ හදවත මෙම දේවස්ථානයේ කෞතුක වස්තුවක් ලෙස තැන්පත් කර ඇති අතර, ඒ මගින් ස්වර්ග රාජ්‍ය සම්පත් ලබාදීමේ ප‍්‍රාතිහාර්යමය බලය ඇතැයි විශ්වාසයක් පවතී. 1982 දී දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමා විසින්ද, 2010 දී 16 වැනි බෙනඩික් පාප්තුමා විසින්ද මේ ඇන්ඩෲ සහෝදරතුමා ශුද්ධාත්මයට ඔසවා තබා සාන්තුවරයකු බවට පත් කරන ලදී. ශාන්ත ජුසේතුමා සහ ඇන්ඩෲ සහෝදරතුමාගේ ප‍්‍රාතිහාර්යය නිසාම වාර්ෂිකව මෙහි පැමිණෙන බැතිමතුන් සංඛ්‍යාව මිලියන දෙකක් පමණ වෙති.
ශාන්ත ජුසේතුමාගේ පිළිරුව පාමුල තනා ඇති පහන් දැල්වීමේ රාක්කය වෙත පැමිණ පහනක් දල්වා, එහි ඇති ශුද්ධවූ වැකිය කියවා, ප‍්‍රාර්ථනාවක් කිරීම මගින් ජීවිතයට නව ආලෝකයක් උදාවේයැයි බොහෝ බැතිමතුන්ගේ විශ්වාසය වේ. මෙකී අධ්‍යාත්මික වූ සියල්ලට සාපේක්ෂව මෙම ශුද්ධවූ ස්ථානයට පැමිණ කටයුතු කරන බැතිමතුන්ගේ නෙත් උකහා ගන්නා පරිසරය ගැනද පැවසිය යුතුමය. වෙසෙසින්ම මෙහි අලංකාර වීදුරු ජනෙල් ගැන කිව යුතුමය. ශාන්ත ජුසේතුමාගේ සහ ජේසුස් වහන්සේගේ මෙන්ම එම ශුද්ධ වූ පවුලේ විවිධ අවස්ථා විදහා දැක්වෙන දර්ශන ඒ මගින් සිතුවමට නගා ඇත. ජේසුස්වහන්සේගේ උපත දැක්වෙන සිතුවම ඒ අතරින් විශේෂය. ප‍්‍රධාන අල්තාරය ඉදිරියෙන්, එනම්, යාඥාගෘහයට ඇතුළු වන තැනට ඉහළින් තනා ඇති යෝධ ඕගනය මෙහි ඇති තවත් විශ්මිත නිමැවුමකි. ජර්මනියේ හැම්බර්ග්හි රැඩෝල්ෆ් වොන් බෙකරාන්ගේ මේ නිර්මානය උසින් අඩි 60ක් පමණ වේ. පළල අඩි 44 ක් පමණ වේ. හඬ පිට කෙරෙන නලා 5811කින් සමන්විතය. එහි අනෙකුත් සියල්ල දෙස බලද්දී ලෝකයේ මෙවැනි නිර්මාණයක් ඇති එකම තැන මෙතැන යැයි සඳහන් කළ හැකිය.
ජීවිතය යනු කැපකිරීමක් නම්, මේ ශුද්ධ වූ දේවස්ථානය නිර්මාණය කිරීම උදෙසා බොහෝ නිර්මාණශිල්පීන් අප‍්‍රතිහත කැපකිරීමෙන් කටයුතු කරමින් මෙහි නිර්මාණය කර ඇති දේ අතරින් අප පැවසුවේ බිඳක් පමණි. දිගින් අඩි 344ක්, පළලින් අඩි 213 ක් මෙන්ම උසින් අඩි 423ක් වූ මෙම දේවස්ථානය තැනීම සඳහා වැය කළ පිරිවැය ලෙස සඳහන් වන්නේ කැනේඩියානු ඩොලර් මිලියන 2.3 වශයෙනි. එකී සියල්ලෙහි ඵලයක් ලෙස නිම වූ, ශුද්ධ වූ ජුසේතුමාගේ ශ්‍රී නාමයට කැපකිරීම උදෙසා, බැතිමතුන්ට අමතරව, බොහෝ රෝගීන් මෙහි පිහිට පතා පැමිණීමද විශේෂයකි.
රන් හිරු එළියෙන් නැහැවෙන නයගරා තුරු උයන
නයගරාවේ සුවඳ පිරුණු මලින් පිපුණු මල් ඔරලෝසුව
සී.එන්. කුළුණට පේන කැනඩාවේ ලස්සන...
කැනඩාවේ ප්‍රෞඪත්වය.. මොන්ටි‍්‍රයල්