රිය ධාවනයේදී රියැදුරන් කරන වැරදිවලට ලකුණු ලබාදී එම ලකුණු ප‍්‍රමාණය 24ක් වූ විට රියැදුරු බලපත‍්‍රය වසරකට අත්හිටුවීමේ නවතම ක‍්‍රමවේදයක් ඉකුත් ජනවාරි පළමුවැනිදා සිට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ක‍්‍රියාත්මක කරනු ලැබේ. රියදුරු අභිවෘද්ධි ලකුණු ක‍්‍රමය ලෙස මෙය හඳුන්වයි.
මේ නවතම ක‍්‍රමවේදය ඔස්සේ වැරදි 22කට දඬුවම් ලබාදීමට නියමිත අතර දැනට ක‍්‍රියාත්මක වන්නේ බීමත්ව රිය පැදවීම හා මාරාන්තික රිය අනතුරු යන වැරදි දෙකට ලකුණු ලබාදීමේ ක‍්‍රමයයි.
මෙම ක‍්‍රමවේදය සැකසීමේ මූලික පරමාර්ථය වන්නේ වැරැද්දක් කළ විට දඩයක් ගෙවා ඉන් ගැලවීම ඉතා පහසුය යන ආකල්පය මත රිය ධාවනයේදී අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කරන වැරදි කරන රියැදුරන් හැකිතාක් එම වැරදිවලින් වළක්වා රිය අනතුරුවලින් අනතුරට හා මරණයට පත්වන ජීවිත හා භෞතික සම්පත් හැකිතාක් සුරක්ෂිත කිරීමය. එක් රිය අනතුරක් යනු ජීවිත ගණනාවක සහ භෞතික සම්පත් කිහිපයක විනාශය සටහන් කරන සිදුවීමක් වීම නිසා එක් රිය අනතුරක් වළක්වාලීම තවත් ජීවිත හා සම්පත් රැසක සුරක්ෂිතතාව තහවුරු කරන්නක් වීම මීට හේතුවයි.
2011 වසරේදී පමණක් මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති මුළු වාහන සංඛ්‍යාව 4,479,732කි.
මෝටර් කාර් 468,168ක්, ත‍්‍රිරෝද රථ 667,969ක්, යතුරුපැදි 2,354,163ක්, බස් රථ 88,528ක්, ද්විත්ව කාර්ය වාහන. 242,746ක්, ලොරි 311,510ක්, ඉඩම් වාහන ට‍්‍රැක්ටර් 297,070ක්, ටේ‍්‍රලර් 49,578ක් මීට ඇතුළත්ය.
2011 වසරේදී මාරක රිය අනතුරු 2471ක්, බරපතළ තුවාල රිය අනතුරු 6675ක්, සුළු තුවාල රිය අනතුරු 13410ක්, අලාභ අනතුරු 18,331ක් ඇතුළුව අනතුරු 40,887ක් සිදුවී ඇති අතර එම අනතුරු හේතුවෙන් 2664ක් මියගිය බව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තු වාර්තා සඳහන් කරයි.
”2011 ඔක්තෝබර් 05 වැනි බදාදා අති විශේෂ ගැසට් එකක් මගින් වැරදි 22ක් සම්බන්ධ ලකුණු ලබාදීමේ ක‍්‍රියාවලියක් හඳුන්වා දුන්නා. මෙය එක්වර ක‍්‍රියාත්මක කරන්න තියෙන යටිතල පහසුකම් ප‍්‍රමාණවත්ද යන ප‍්‍රශ්නය තියෙනවා. මෙය මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව හා උසාවිය ඒකාබද්ධ වී සිිදුකරන ක‍්‍රියාවලියක් ලෙසයි ස්ථාපිත වෙන්නෙ. ඒ අය තමා අපට තොරතුරු ලබා දෙන්නේ. ජනවාරි 01 වැනිදා සිට මෙය ක‍්‍රියාත්මක අතර ඉදිරියේදී පොලිසිය හා උසාවිය සමග ඒකාබද්ධව මේ ක‍්‍රියාත්මක ජාලය ස්ථාපිත වෙනවා.
![]() |
එච්.එස්. හරිස්චන්ද්‍ර
|
දැනට මාරාන්තික රිය අනතුරු හා බීමත්ව රිය පැදවීම යන වැරදි දෙකට ලකුණු ලබාදීම ක‍්‍රියාත්මක වුවත් එළඹෙන පෙබරවාරියේදී තවත් වැරදි හයක් සම්බන්ධව මේ ක‍්‍රමය ක‍්‍රියාත්මක කරන්න අප බලාපොරොත්තු වෙනවා. මුලින් ඒ ක‍්‍රියාත්මක කරන්නේ කොළඹ දිස්ත‍්‍රික්කයට අදාළවයි. දැනට කොළඹ නගරයේ කැමරා සියයකට වැඩි ගණනක් ක‍්‍රියාත්මකයි. මේ කැමරා පද්ධතියේ රියැදුරන් කරන වැරදි සටහන් වෙනවා. මේ පද්ධතියෙන් තොරතුරු රැගෙන ඒ අනුව නිවැරැුදි සාක්ෂි මත තමා මේ ක‍්‍රියාත්මක කිරීම කරන්නේ.
ඉතාමත් ඉක්මණින් අපි එස්.එම්.එස්. පණිවිඩ මාර්ගයෙන් මෙම ලකුණු දැනගැනීමේ ක‍්‍රියාවලියත් අරඹනවා. අපි දුරකථන අංකයක් ලබාදෙනවා. ඒ අංකයට එස්.එම්.එස්. පණිවිඩයක් එවීමෙන් වැරදි කළ රියැදුරකුට තමාට හිමි ලකුණු ප‍්‍රමාණය එස්.එම්.එස්. පණිවිඩයක් මගින්ම දැනගත හැකියි. එම දුරකථන අංකය අපි ජාලය ඔස්සේ පොලිසියටත් ලබාදෙනවා. රටේම තියෙන පොලිසි සමග මෙය සම්බන්ධ කරන්න නම් කොපමණ කාලයක් යයිද කියන්න බෑ. කෙසේ වුවත් වැරදි කළ රියදුරන්ට ලකුණු සංඛ්‍යාව ලිඛිතව දැනුම්දීමත් අපි කරනවා.ලකුණු සංඛ්‍යාව 18 වූ විට තමන් අනතුරුදායක කලාපයකට පැමිණ සිටින බව අපි දැනුම් දෙනවා. අනතුරු ඇඟවීමක් කරනවා. 18 සීමාවෙන් පසු වරදක් නොකළොත් ආපස්සට ලකුණු අඩුකරන අතර ඊළඟ වසරේදී කිසිම වරදක් නොකළොත් වැරැදිවලට ලබාදුන් ලකුණු සියල්ල කපා හරිනවා.
මෙය පිටරට ක‍්‍රියාත්මක ක‍්‍රමයක්. එමෙන්ම සෑම පොලිස් ස්ථානයකටම පරිගණක යන්ත‍්‍ර ලබාදීලා අපේ මෘදුකාංගය දීලා වරදක් කළ රියදුරකුගේ රියදුරු බලපත් අංකය, හැඳුනුම්පත් අංකය අදාළ පොලිස් ස්ථානවලට ලබාදී එතැනින්ම ලකුණු දීමේ ක‍්‍රමයක් ඉදිරියේදී ක‍්‍රියාත්මක කරනවා. ඒ මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් එච්.එස්. හරිස්චන්ද්‍ර මහතා කළ සඳහන් කිරීමයි.
මහා මාර්ගයකදී රිය අනතුරු වළක්වා ගැනීමට පියවර ගන්න අපොහොසත් වීම ලකුණු 6ක්
මහා මාර්ගයක අපරික්ෂාකාරීව හෝ අන්තරාදායක ලෙස හෝ අන්තරාදායක වේගයෙන් මෝටර් වාහනයක් ධාවනය කිරීම ලකුණු 8ක්
මහා මාර්ගය භාවිතා කරන වෙනත් තැනැත්තන් කෙරෙහි නොසැලකිලිමත් ලෙස හෝ යුක්ති සහගත සැලකිල්ලක් නොමැතිව මහා මාර්ගයක මෝටර් වාහනයක් ධාවනය කිරීම ලකුණු 8ක්
මහා මාර්ගයක රිය අනතුරකින් පසුව වාහනය නතර කිරීම පැහැර හැරීම සහ අදාළ තොරතුරු සැපයීම පැහැර හැරීම, ලකුණු 10ක්.
අනතුරක් පිළිබඳව වහාම ළඟම පිහිටි පොලිස් ස්ථානයට දැනුම්දීම පැහැර හැරීම ලකුණු 10ක්
මහා මාර්ගයක නියමිත වේග සීමා ඉක්මවා රිය පැදවීම, ලකුණු 6ක්
අපරික්ෂාකාරීව රිය පැදවීම සහ අනතුරු යන වරද යටතේ වූ වර්ගීකරණයේදී ලකුණු ලබාදෙන්නේ මේ අනුවය.
මාර්ග රීති යන වරද යටතේ මාර්ගයේ වම් පසට හෝ ආසන්න පැත්තට ගෙන රිය පැදවීම අපොහොසත්වීමට ලකුණු 02ක්.
මාර්ගයේ ඉදිරිය පැහැදිලිව දර්ශනය කර ගැනීමෙන් තොරව වෙනත් වාහන පසුකර රිය පැදවීම ලකුණු 6ක්
වෙනත් වාහන පසුකර යනවිට ඒ වෙනත් වාහනවල දකුණු පැත්තෙන් දකුණට නැඹුරුව රිය පැදවීම පැහැර හැරීම ලකුණු 4ක්
දකුණු දෙසින් හෝ එම පැත්තට ඉහතින් පැමිණෙන වාහන සඳහා ෙඡ්දනවලදී මාර්ගයේ ඉඩ ලබා නොදීම ලකුණු 4ක්
දීර්ඝ දුරක් මහාමාර්ගයක වාහනය පිටුපසට ධාවනය කිරීම හෝ පිටුපසට ධාවනය කිරීම සඳහා සාධාරණ හේතුවක් නොමැතිව අවසර දීම ලකුණු 4ක්
තහනම්, සීමිත, අනිවාර්ය හෝ ප‍්‍රමුඛතා සංඥාවලට අනුකූලව ක‍්‍රියාකිරීම පැහැර හැරීම ලකුණු 6ක් වශයෙන් ලකුණු ලබාදෙයි.
සංඥා කිරීම යන වරද යටතේ පොලිස් නිලධරයකුගේ වාහන නිරීක්ෂකයකු විසින් දෙන ලද වාචික විධාන හෝ හස්ත සංඥාවලට අනුකූලව ක‍්‍රියා කිරීම පැහැර හැරීම ලකුණු 6ක් ලබාදෙන වරදකි.
දුෂණය යන වරද යටතේ නියමිත ප‍්‍රමිතීන්ට වැඩි විමෝචන සහිත මෝටර් රථ වාහනයක් පැදවීම ලකුණු 6ක් නියමිත ප‍්‍රමිතීින් ඉක්මවන ශබ්ද මට්ටම් සහිතව වාහනයක ශබ්ද විකාශන උපකරණ භාවිත කිරීම හෝ භාවිත කිරීමට අවසරදීම ලකුණු 6ක්.
නියමිත ප‍්‍රමිතීන් ඉක්මවා එන්ජිම සහ නළාව ශබ්දය නිකුත් කරනු ලබන වාහනයක් පාවිච්චි කිරීම ලකුණු 6ක් වශයෙන් ලකුණු ලබාදෙන අතර මාර්ගයේ හෝ මාර්ගයට යාබද යම් තැනැත්තකුට දේපළකට හෝ වාහනයකට අනතුරක් හෝ හානිය ගෙන දෙන හෝ ඇති කිරීමට ඉඩ ඇති තත්ත්වයකින් යුත් වාහනයක් පැදවීම වාහන තැනීම හා පාවිච්චිය යන වරද යටතේ ලකුණු 10ක් ලැබීමට වරදකි.
එමෙන්ම ආරක්ෂාව යන වරද යටතේ තවත් වැරදි 5කට දඬුවම් හිමි වෙන අතර 2011 ඔක්තෝබර් 05 වැනිදා අංක 1726/12 දරන ගැසට් පත‍්‍රය ඔස්සේ ඔබට මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දත හැකියි.
දැනට ලකුණු ලබාදෙන වැරදි දෙක සම්බන්ධ නීතිය ක‍්‍රියාත්මක නිසා එම වැරදි දෙක මෙම ගැසට් පත‍්‍රයට ඇතුළත් කර නැත.
සටහන: සංජීවිකා සමරතුංග / ඡායාරූප: පුෂ්පා වීරසේකර