(*** මුදිතා දයානන්ද)
එළියේ ඉන්න ඕන අය හිරේ දැම්මා කියලයි මට හැමදාම චෝදනා එල්ල වුණේ. මම අද හිරේ ඉන්නෙත් එහෙම චෝදනාවකට. ඉතිහාසයේ පළමුවැනි වතාවට තමයි හිරේ ඉන්න ඕන කෙනෙක් එළියට දැම්මා කියලා චෝදනා එල්ල වුණේ. මේක අභූත චෝදනාවක්. වනාතවිල්ලුවේ පුපුරන ද්‍රව්‍ය ගබඩාවේදි අත්අඩංගුවට ගත් දෙදෙනා පසුව මුදාහැරියේ ඔවුන්ට චෝදනා නොමැති වූ නිසා යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ වැඩ තහනමට ලක්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ඊයේ (26) පැවසීය.
මම නිදහස් කළා යැයි චෝදනා කරනු ලබන දෙදෙනා පාස්කු ඉරු දින ප්‍රහාරයේදී මියගිය බව කීවත් අදටත් තමන්ගේ ගෙවල්වල ජීවත් වෙනවා. ප්‍රහාරයෙන් පසුවත් ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ අත්සන් කළා. මට චෝදනා කළ අයට එතැනට ආවා නම් ඔවුන් බලාගන්න තිබුණා යැයිද අබේසේකර මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුයේ බන්ධනාගාර ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ හතළිස් දෙවන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ස්කයිප් තාක්ෂණය ඔස්සේ සාක්ෂි දෙමිනි.
එහිදී රජයේ නීතිඥවරයාගේ මෙහෙයවීම යටතේ අබේසේකර මහතා මෙසේ සාක්ෂි දුන්නේය.
නීතිඥ - මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිදුවීම පිළිබඳ විමර්ශනය කිරීමට ඔබ සහකාර පොලිස් අධිකාරි වික්‍රමසේන මහතා යටතේ පොලිස් පරීක්ෂණ මාරසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් පත් කළ බව පෙර දින සාක්ෂි විභාගයේදී පැවසුවා නේද?
සාක්ෂිකරු - ඔව්. ඔවුන්ගේ සහායට නන්දලාල් ඇතුළු දෙන්නෙකුත් පසුව පත් කළා.
නීතිඥ - මේ අයට සහාය දෙන ලෙස ඔබ තාක්ෂණික ආධාර ඒකකයට දැනුම් දුන්නාද?
සාක්ෂිකරු - ඔව්. එය පිහිටා තිබෙන්නෙත් අපේ කාර්යාලය ඉදිරිපිටමයි. මම ලිඛිතවම අවස්ථා කීපයකදී ඒ ඉල්ලීම කර තිබෙනවා.
නීතිඥ - ඔබ අබුහනීෆා මොහොමඩ් මුතීෆ්ව දන්නවාද?
සාක්ෂිකරු - ඔව්. මගේ මතකයේ හැටියට ඔහු වනාතවිල්ලුව ලැක්ටෝස් වත්තේදී අත්අඩංගුවට ගත් අයෙක්.
නීතීඥ - වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය ගබඩාව වැටලීමෙන් පසු සොයාගත් දේවල් ගැන ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා දැනුවත් කළාද?
සාක්ෂිකරු - ඔව්. මම දැනුවත් කළා වගේම වාර්තාවකුත් දුන්නා.
නීතිඥ - මෙම ස්ථානයෙන් සොයාගත් පුපුරන ද්‍රව්‍ය දැක්කාම ඔබට මොනවද හිතුනේ?
සාක්ෂිකරු - මේවා ත්‍රස්තවාදී කටයුත්තකට යොදාගත හැකි බව පැහැදිලිව පේනවා. ඒ අනුව ඉදිරියේදී යම් බරපතළ ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් තිබූ බව වැටහුණා.
නීතිඥ - මේ ගැන ඔබ පොලිස්පතිතුමාට දැනුම් දුන්නාද?
සාක්ෂිකරු - ඔව්. කීප වතාවක් අපි හමුවී සාකච්ඡාත් කළා.
නීතිඥ - මාවනැල්ලේදි තස්ලිම්ට වෙඩි තැබීම ගැන ඔබ දැන සිටියාද?
සාක්ෂිකරු - ඔව්.
නීතිඥ - මාරසිංහ ඇතුළු ඔබේ කණ්ඩායම ඔහුව වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය ගබඩාව සොයාගැනීමේදී යොදාගත් බව දැන සිටියාද?
සාක්ෂිකරු - මම ඒ බව දැන ගත්තේ පසුවයි.
නීතිඥ - ඔවුන් විමර්ශන ප්‍රගතිය ඔබට වාර්තා කරන්නේ නැද්ද?
සාක්ෂිකරු - වාර්තා කරනවා. එහෙත් තමන් තොරතුරුකරුවන් ලෙස භාවිත කරන අය ගැන වාර්තා කිරීම අවශ්‍ය වන්නේ නැහැ. එය කළ යුත්තක් නොවෙයි.
නීතිඥ - මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීමේ හා වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය ගබඩාව පිටුපස සහරාන් හෂීම් ඉන්න බව ඔබ දැන සිටියාද?
සාක්ෂිකරු - ඔව්. 2019 ජනවාරි 17 වැනිදා අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ලද තොරතුරුවලින් ඒ බව අනාවරණය වුණා. ඔහු මුස්ලිම් අන්තවාදය පතුරුවා හරින්නෙකු බවද දැනගන්න ලැබුණා. ඔවුන් ඉදිරියේදී ප්‍රහාරයකට සැලසුම් කරන බවද දැනගන්න ලැබුණා.
නීතිඥ - ඉදිරියේදී කියන්නේ?
සාක්ෂිකරු - 2019 මැයි මාසයේදී ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවයි අපිට වාර්තා වුණේ. එහෙත් අපි අවි ගබඩාව සොයාගත් නිසා එය වැළකී ගියා.
නීතිඥ - ඔවුන් ලංකාව ලේ විලක් කරන බවට දිව්රුම් දී තිබූ බව ඔබ දැන සිටියාද?
සාක්ෂිකරු - මම එවැනි දෙයක් නම් දැන සිටියේ නැහැ. එහෙත් වනාතවිල්ලුවේ පුපුරන ද්‍රව්‍ය ගබඩාව අපි සොයා නොගත්තා නම් ඒක වෙන්න තිබුණා.
නීතිඥ - එසේ දැන ගත්තේ නම් මේ අය ගැන විමර්ශන කිරීමට මීට වඩා කණ්ඩායමක් යෙදවීමට කටයුතු නොකළේ ඇයි?
සාක්ෂිකරු - ඒ වනවිට රටේ ජාතිවාදී ගැටුම් ඇති වීමේ යම් සිදුවීම් ඇතිවෙමින් තිබුණා. මේ නිසා මේ විමර්ශන එයට දායක නොවන ආකාරයට ඉතා රහසිගතව කරන්න අපිට සිදුවුණා. අපිට උපදෙස් ලැබුණෙත් ඒ ආකාරයටයි. ඒ නිසා විශාල කණ්ඩායමක් යොදවා මෙය පිටතට යාමට ඉඩ දිය නොහැකියි. ඒ නිසයි මේ කණ්ඩායම සමග දිගටම විමර්ශන සිදුකළේ.
නීතිඥ - මාරසිංහ නිලධාරියා ඇතුළු පිරිස ඔබට ප්‍රගතිය වාර්තා කළා නම් ඔබට එයින් සෑහීමකට පත්වෙන්න හැකි වුණාද?
සාක්ෂිකරු - ඔව්. මට සෑහීමකට පත්විය හැකිව තිබුණා.
නීතිඥ - එසේ නම් ඇයි ඔවුන්ට සහරාන් ඇතුළු කණ්ඩායම පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර අත්අඩංගුවට ගන්න බැරි වුණේ?
සාක්ෂිකරු - අපි සාමාන්‍යයෙන් මෙවැනි අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේදී භාවිත කරන්නේ ජංගම දුරකථනවලින් ලබාගන්නා සංඥා. එහෙත් මොවුන් තමන්ගේ සන්නිවේදන කටයුතු පවත්වාගෙන යනු ලැබුවේ ත්‍රිමා ඇප් එක භාවිත කරමින් අන්තර්ජාලය ඔස්සෙයි. ඒ නිසා අදාළ සමාගම්වලින් අපි ලිඛිතවම ඉල්ලීමක් කළා මොවුන්ගේ තොරතුරු ලබාදෙන්න කියලා. ඒත් ඒ සහය ලැබුණේ නැහැ.
නීතිඥ - මේ විමර්ශන ඉදිරියට නොගියේ කිසියම් දේශපාලන බලපෑමක් නිසාද?
සාක්ෂිකරු - නැහැ. මට නම් කිසිම දේශපාලන බලපෑමක් තිබුණේ නැහැ. එහෙත් සැකකරුවන් දෙන්නෙක් නිදහස් කළා කියලා නම් මට චෝදනා එල්ල වුණා.
නීතිඥ - ඔබ නිදහස් කළ දෙදෙනා මොහොමඩ් නවීඩ් හා මොහොමඩ් නෆ්රි යන අයද?
සාක්ෂිකරු - ඔව්. ඒ දෙන්නා තමයි.
නීතිඥ - මේ අය නිදහස් කළේ දේශපාලන බලපෑමක් නිසාද?
සාක්ෂිකරු - මට නම් එවැනි බලපෑම් ආවේ නැහැ. ආරක්ෂක ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකට දවසක් ආණ්ඩුකාර අසාද් සාලි මහතාත් ඇවිත් තිබුණා. එහිදී ඔහු ඉල්ලීමක් කළා වනාතවිල්ලුවෙන් අත්අඩංගුවට ගත් දෙදෙනකු නිදහස් කරන ලෙසට. මම ඒ වෙලාවෙම කිව්වා මේ අය නිදහස් කරන්න කොහෙත්ම බැහැ කියලා.
නීතිඥ - එහෙම නම් ඔවුන්ව පසුව නිදහස් කළේ ඇයි?
සාක්ෂිකරු - විමර්ශන නිලධාරියා ලෙස මාරසිංහ ඇතුළු කණ්ඩායම දීර්ඝ වාර්තාවක් සපයා තිබුණා මොවුන්ට සහරාන්ලා සමග සම්බන්ධයක් නැති බවට. පාසල් කාලයේ සිටම වාර්තා එහි ඇතුළත් වුණා. ඒවා අධ්‍යයනය කිරීමෙන් පසු මගේ අනුමැතිය ලබාදී ඉහළ නිලධාරීන් වෙත යොමු කළා. ඉන්පසු ආරක්ෂක ඇමැති ලෙස ජනාධිපතිවරයා වෙත යොමුකර ඔහුගේ අනුමැතියට යටත්ව තමයි මොවුන් නිදහස් කළේ. ඒ කොන්දේසි කීපයකට යටත්වයි. තමන්ගේ ගම් ප්‍රදේශයෙන් පිටතට යන්න බැරි බවට, සෑම මසකම අවසන් සෙනසුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්සන් කළ යුතු බවට ආදී කොන්දේසි හතරක් එයට ඇතුළත්.
පාස්කු ඉරුදින ප්‍රහාරයේදී මියගිය බව කියන මේ දෙන්නා ප්‍රහාරයෙන් පස්සේ අප්‍රේල් 26 වැනිදාත්, ඔවුන් පැමිණ අත්සන් කර තිබුණා. මට චෝදනා කළ අයට ඒ දවස්වල මම කිව්වා මේ අය දකින්න අවශ්‍ය නම් මේ අය එන දවසට පොලිසියට ඇවිත් ගේට්ටුව අසල ඉන්න කියලා. මා දන්නා තරමින් මේ දෙන්නා තවමත් තමන්ගේ ලිපිනයන්වල ජීවත් වෙනවා.
නීතිඥ - මේ අයගේ විමර්ශන ඉක්මන් කරන්න කියලා කවුරුවත් බලපෑම් කළේ නැද්ද?
සාක්ෂිකරු - මට කවුරුවත් බලපෑම් කළෙත් නැහැ. කළත් මම ඒවාට යට වෙන්නෙත් නැහැ. මට මෙච්චර කල් චෝදනා තිබුණේ මිනිස්සු නිකම් හිරේ දැම්මා කියලා. පළමු වතාවට තමයි හිරේ ඉන්න කෙනෙක් එළියට දැම්මා කියලා චෝදනාවක් එල්ල වුණේ. මේවා අභූත චෝදනා.
නීතිඥ - මේ අය මුදාහරිද්දි විමර්ශන අවසන් වෙලා තිබුණාද?
සාක්ෂිකරු - ඔවුන් පිළිබඳ විමර්ශන අවසන් වෙලා තිබුණා. සිදුවීම් පිළිබඳ විමර්ශන අවසන්ව තිබුණේ නැහැ.
නීතිඥ - එසේ නම් ඔවුන් නිදහස් කළේ කෙසේද?
සාක්ෂිකරු - යම් සිදුවීමකට සම්බන්ධ නැති බවට තහවුරු වුණ අයෙක් අදාළ සිදුවීමේ විමර්ශන අවසන් වනතෙක් කියලා අත්අඩංගුවේ තියාගන්න බැහැ. ඒක බරපතළ වරදක්.
නීතිඥ - මොවුන් නිදහස් කරන්න නීතිපතිවරයාගේ උපදෙස් ලබාගත්තාද?
සාක්ෂිකරු - නැහැ. සිදුවීමකට සම්බන්ධ නැති අයෙක් මුදාහරින්න එසේ අවසර ගත යුතු නැහැ. ආරක්ෂක ලේකම්වරයාව දැනුවත් කර සාකච්ඡා කර තමයි මොවුන් කොන්දේසි සහිතව මුදාහැරියේ.
නීතිඥ - මේ දෙන්නා අත්අඩංගුවට ගත්තේ වනාතවිල්ලුවේ පුපුරන ද්‍රව්‍ය ගබඩාවේ සිටියදී නේද?
සාක්ෂිකරු - ඔව්. එක් අයෙක් එහි කුකුළු කූඩුව බලාගත් අයෙක්. අනෙක් කෙනා ඒ වෙලාවේ අර පුද්ගලයාට කෑම අරන් ආපු කෙනෙක්.
නීතිඥ - මෙහිදී අත්අඩංගුවට ගත් මුතිෆ් සතුව බෝම්බයක කටු සටහනක් සොයාගත්තා නේද?
සාක්ෂිකරු - ඔව්.
නීතිඥ - ඔහු සමග මේ දෙන්නාගෙන් කෙනෙක් දුරකථන සම්බන්ධතා පවත්වා තිබෙනවා නේද?
සාක්ෂිකරු - ඔව්.
නීතිඥ - එවැනි සම්බන්ධතා පැවැත්වූ අයෙක් නිදහස් කිරීම වරදක් නෙවෙයිද?
සාක්ෂිකරු - ඔවුන් ඥාතීන්. ඥාතියෙක් අපරාධකරුවෙක් වූ පමණින් ඔහු සමග දුරකථනයෙන් සම්බන්ධතා පැවැත්වීම කෙනෙක් අත්අඩංගුවට ගැනීමට හේතුවක් කරගත්තොත් ලංකාවේ බොහෝ ප්‍රශ්න මතුවේවි.