ඉකුත් පෙබරවාරි මාසයේදී විදෙස් සංචාරකයන් ලක්ෂ දෙකහමාරක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන බව අප ප්‍රවෘත්තියකින් අනාවරණය කෙරිණි. එසේ පැමිණි සංචාරකයන් ඉකුත් වසරේ පෙබරවාරි මාසයේ පැමිණි සංචාරකයන් හා සසඳන විට සියයට හතකින් වර්ධනය වීමක් බව ද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.
පසුගිය වසරේ ඔක්තෝබර් 26 වැනිදායින් ඇරැඹුණු දේශපාලන අර්බුදය තෙමසක් දක්වා ඇදී ගියේය. එම දේශපාලන අර්බුදය මෙරට සංචාරක ව්‍යාපාරයට තදින්ම බලපෑ බව එකල පළවූ පුවත් සාක්ෂි දරයි. බොහෝ සංචාරකයන් කලින් වෙන්කර ගත් හෝටල් කාමර අවලංගු කළ බවත්, එය තමන්ගේ ව්‍යාපාර කටයුතුවලට තදින්ම බලපා ඇති බවත් හෝටල් හිමියෝ මාධ්‍යයට කීහ. දේශපාලන අර්බුදයක් වැනි අස්ථාවර තත්ත්වයක් තිබියදී එබඳු තත්ත්වයක් බලාපොරොත්තු විය යුතුය. එම පරිසරය තුළ ඉකුත් පෙබරවාරියේදී සංචාරකයන්ගේ පැමිණීම වාර්තාගත අයුරින් ඉහළ යෑම සුබදායී ප්‍රවෘත්තියකි.
මෙරටට විදේශ විනිමය යහතින් උපයා ගත හැකි ක්ෂේත්‍ර අතර සංචාරක ව්‍යාපාරය ඉහළින්ම වේ. නයන පිනවන මේ රන් දිවයින නොරටුන්ගේ ඇස් සනසන පින් බිමකි. සම කාලගුණයක් සහිත රට සොබා දහමේ අපූර්ව දායාදයන්ගෙන් ද පොහොසත්ය. ගිනි කඳු නැති භූමි කම්පා නැති මේ පින්බිම සංචාරක ආකර්ෂණයට තෝතැන්නකි. එහෙත් තිස් වසරක් කල් ඉක්ම වූ යුද්ධය නිසා ඒ සංචාරක ව්‍යාපාරය අවශ්‍ය ප්‍රගතිය අත්පත් කර නොගත්තේය.
ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තය ශ්‍රී ලංකාව බවට ජාත්‍යන්තරයෙන් පිදුම් ලැබුවේ ඊයේ පෙරේදාය. ඒ ආරංචිය ලොව පුරා පැතිර ගිය බවට සැකයක් නැත. සංචාරකයන්ගේ ආකර්ෂණයට එම පුවත බඳුන් වූ බවට සැකයක් නැත. සංචාරකයන්ගේ පැමිණීම වාර්තා ගත ආකාරයෙන් ඉහළ යෑමට එය ද එක් හේතුවක් වන්නට ඇත. ඒ අතරම තිස් අවුරුදු යුද්ධයේ නිමාවත්, ඊට විශාල වශයෙන් හේතු විය. යුද සමයේ කිසිවකුට උතුරට හෝ නැගෙනහිරට හෝ නිදහසේ යා හැකි තත්ත්වයක් නොවීය. එහෙත් එය අද දක්නට නැත.
අවශ්‍ය වන්නේ මෙම තත්ත්වය තව තවත් වර්ධනය කර ගැනීමය. ඒ සඳහා ඉතිහාසය විසින් අනගිතම අවස්ථාවක්ද නිර්මාණය කර දී ඇත. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම බලධාරීන්ගේත් ප්‍රජාවගේත් වගකීමකි.
අවධාරණය කළ යුතු කාරණයක්ද තිබේ. මේ රට ලොව පුරා ප්‍රචලිතව තිබෙන්නේ ආගන්තුක සත්කාරයෙන් අනූන යහපත් හා නිහතමානී මිනිසුන් සිටින රටක් ලෙසය. සිනාසෙන මිනිසුන් සිටින රටක් ලෙසය. මෙය ඉතා යහපත් පිළිගැනීමකි. එහෙත් මෙම පිළිගැනීමම තරම් නොවන අයහපත් හා අධම ක්‍රියා ද වාර්තා වේ.
ඇණවුම් කරන ලද වාහනය පැමිණෙනතුරු හිමිදිරියේ මහ මඟ රැඳී සිටි යුක්රේන ජාතික තරුණියක රවටා සිය රථයට නංවාගෙන අතරමඟදී දූෂණය කළ පාපතර ශ්‍රී ලාංකිකයකු පිළිබඳ වාර්තා වූයේ මෙයට දෙතුන් සතියකට ඉහතදීය. නිවාඩුවට විවේකීව ගත කිරීමට පෙම්වතා සමඟ පැමිණි බ්‍රිතාන්‍ය ජාතික තරුණියක දූෂණය කර පෙම්වතා මරා දැමූ දේශපාලන අධමයකු හා ගෝලබාලයන් මේ රටට කළ කැළල අතිමහත්ය. සූ සැට බරණින් සැරසුණු තරුණියකට දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා තනිවම ගමන් කළ හැකි තරමේ යහපත් සුහදශීලී හා මිත්‍රශීලී පරිසරයක් සම්බන්ධව දුරාතීතයේ සිටම විශ්වාසයක් වේ. එහෙත් අධම පාපතර සුළුතරයක් නිසා එම තත්ත්වය කෙමෙන් දිය වී යන බවක් දක්නට ලැබේ.
මුහුදු වෙරළේදී විවිධ ලිංගික අතවර හා අඩන්තේට්ටම්වලට ලක්වීමට විදේශිකයන්ට සිදුවන බවට පුවත් බොෙහා්ය. ඔවුන්ගේ ගුවන් මලු හා මුදල් පැහැර ගැනීම් හා සොරකම් කිරීම් සම්බන්ධ පුවත් ද එසේමය. එමෙන්ම කිලෝමීටරයක දුර ගොස් ගමන් ගාස්තුව වශයෙන් හත් අට ගුණයක් වැඩියෙන් අය කරන වංචාකාරී රියැදුරෝ ද තැඹිලි ගෙඩියකට අස්ප ගණන් කියා ඔවුන් නිර්දය ලෙස සූරා කන වෙළෙන්දෝ ද සිටිති. ප්‍රමිතියෙන් තොර පහසුකම් සපයා ඔවුන්ගේ ඉණ ඉහ අත ගා ගන්නා වංචාකාර හෝටල් හිමියෝ ද සිටිති.
මෙබඳු බාල වැඩ පවතින්නේ නම් මෙරට සංචාරක ව්‍යාපාරයට අපේක්ෂිත ප්‍රගතිය අත්පත් කර ගත නොහැකිය. එහෙයින් සංචාරක ව්‍යාපාරයට සමගාමීව ඒ සම්බන්ධයෙන් ද දියුණු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය.