මහරගම – පන්නිපිටිය මාර්ගයේදී ඉකුත් 29 වැනිදා පෙරවරුවේදී දෙනෝදාහක් ජනී ජනයා බලා සිටියදී ලොරි රථ රියැදුරෙකුට පහර දුන් මහරගම පොලිසියේ රථ වාහන අංශයේ කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇති බව අප පුවත්පත ඊයේ වාර්තා කළේය. පොලිසිය බාර ඇමතිවරයා වන රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ‘‘මකා හෝ පොලිසිය සුද්ධ කරනවා’’ යැයි මාධ්‍යයට කියා එහි උණුසුම පහව යෑමටත් මත්තෙන් මහරගම පොලිසියේ රථ වාහන අංශයේ කොස්තාපල්වරයා මහ මග තම නිල ඇඳුම් උනා තබමින් යකා නැටූ හැටි මුළු රටම දුටුවේය.
මහ මග රථ වාහන හැසිරවීමේදී මෙන්ම අනෙකුත් රාජකාරි කටයුතුවලදී අනතුරුවලට ලක්වීමේ පුවත් එකක් පසුපස එකක් වශයෙන් ඉකුත් සමයේ වාර්තා විය. රාජගිරියේදී උප පොලිස් පරීක්ෂවරයකු අමන රියැදුරෙකු විසින් හප්පා මරා දමන ලද සිදුවීමට තවමත් සතියක් කල් ඉක්මගොස් නැත. පොලිස් නිලධාරීන්ට සිදුවන මෙබඳු අනතුරු ඉදිරිපිටදී මුළු රටම කම්පාවට පත්වේ. ඒ පොලිස් නිලධාරීන්ගේ මෙහෙවරෙහි ඇති වැදගත්කම හොඳින්ම දන්නා හෙයිනි. එමෙන්ම පොලිස් නිලධාරීන්ගේ ජීවිතවල ඇති කටුක බව, ඔවුන්ගේ රාජකාරි ස්වභාවය, ඒ තුළ ඇති වචනයට නැගිය නොහැකි තරමේ දුෂ්කරතා සම්බන්ධයෙන් වගකිවයුතු පුරවැසියන්ට ප්‍රමාණවත් අවබෝධයක් තිබෙන හෙයිනි. ඒ අතරම පොලිස් නිලධාරියකුගේ අමන, දුෂ්ට, තිරශ්චීන හැසිරීම් ද කොන්දේසි විරහිතව හෙළා දකිති. එයට හේතුව ඕනෑම මනුෂ්‍යයකු අතින් වැරැදි සිදුවිය හැකි වුවද මහරගම පන්නිපිටිය මාර්ගයේදී පොලිස් කොස්තාපල්වරයා ප්‍රදර්ශනය කළ අශිෂ්ට, අනීතික ම්ලේච්ඡ හැසිරීම් කිසි විටෙකත් අනුමත කළ නොහැකිය.
මහරගම – පන්නිපිටිය මාර්ගයේ රථ වාහන හසුරුවමින් සිට ඇති මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඉහත ලොරි රථයේ ගැටීමෙන් බරපතළ තුවාල ලබා තිබේ. එම පොලිස් ස්ථානාධිපතිවරයා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර පොලිස් කොස්තාපල්වරයා ලොරි රියැදුරුට පහර දෙන්නේ ඒ අතර වාරයේදීය. එම පහරදීම කොයිතරම් දුරට ‘අවම බලය’ පාවිච්චි කිරීමක්ද යන්න අන්තර්ජාලයේ සංසරණය වන වීඩියෝව සාක්ෂි දරයි. පහරකෑමෙන් බිම වැටී සිටින ලොරි රියැදුරාට පොලිස් නිලධාරියා පහර දෙන්නේ ‘රෙස්ලින්’ ක්‍රමයටය. මහ පාරේදී මිනිසුන්ට පහර දෙන්නේ මෙසේ නම් පොලිස් ස්ථානවලදී, කූඩුවේදී, බැරැක්කයේදී කෙසේ පහර දෙන්නේදැයි අනුමාන කිරීමට අසීරු නැත.
පොලිස් නිලධාරියකුගේ වගකීම වන්නේ අපරාධ වැළැක්වීම හා අපරාධකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමය. අපරාධය කොතරම් බරපතළ වුවත්, අපරාධකරු කොතරම් දරුණු වුවත් ඔහුට දඬුවම් කිරීමේ බලයක් පොලිස් නිලධාරියකුට නැත. ඒ බවක් නොදන්නා අයකු පොලිස් සේවයේ තබා ගැනීමද බරපතළ වරදකි. පොලිස් කොස්තාපල්වරයා අත ගිනි අවියක් තිබුණේ නම් මෙම කතාව කෙසේ අවසන් විය හැකිද යන්න අනුමාන හැකියාවෙන් එපිට පිහිටියකි. ඒ අර්ථයෙන් ගත් කල්හිද මහරගම පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයා මුළු මහත් පොලිස් දෙපාර්තමේන්තුවටම රැගෙන ආවේ නින්දා සහගත කැළලකි.
‘‘මෙම සිද්ධියේදී ලොරි රථ රියැදුරා අතින් වරදක් සිදුවන්නට ඇති බවත් ඔහු අතින් මාර්ග නීති උල්ලංඝනය කිරීමක් සිදුවන්නට ඇති බවත් එසේම එම අනතුරෙන් පොලිස් නිලධාරියකු බරපතළ තුවාල ලබා සිටියද ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව තිබියදීත් මෙම කොස්තාපල් සිදුකළ පහරදීම කිසිසේත්ම අනුමත නොකරන බව’’ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.
මුළු මහත් සමාජයම යම් ගරාවැටීමකට ලක්ව තිබියදී පොලිස් දෙපාර්තමේන්තුවෙන් පමණක් ශුද්ධ බවක් අපේක්ෂා කළ නොහැකිය. විවිධ තරාතිරම් හා දැන උගත්කම් වලින් යුත් ලක්ෂයක් පමණ පිරිසක් සිටින පොලිස් දෙපාර්තමේන්තුව නූලට – තිතට, විනයානුකූලව පවත්වාගෙන යා නොහැකි බවත් යම් යම් සිදුවීම් වාර්තාවිය හැකි බවත් සත්‍යයකි. රුපියල් දස දහසක අල්ලස් මුදලක් ගනිද්දී අල්ලස් හෝ දූෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණෙන මොහොතේදී එම රුපියල් දස දහස ගිල දැමූ පොලිස් ස්ථානයක සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයකු රෝහල් ගත කළ බව ඊයේ පුවත්පතේම වාර්තාවකි.
වෙනත් පුරවැසියකු මෙන් නොව පොලිස් නිලධාරියා යනු විශේෂ වගකීමක් ඇති පුද්ගලයෙකි. නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ භාරදූර වගකීම උසුලන පොලිස් නිලධාරියා සාමාන්‍ය ජනතාවට ගරු ගාම්භීර අධිකරණය සම්බන්ධ සජීවි සංකේතයද වේ. එහෙයින් ඔහු වෙතින් ගැඹුරු ආදර්ශ මතු විය යුතුය. ගමේ කසිප්පු කාරයකු මෙන් හැසිරීමට පොලිස් නිලධාරියාට කිසිදු අයිතියක් නැත. පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් තව බොහෝ දේ කිරීමට තිබෙන බව මහරගම පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයා ඔප්පු කර තිබේ.
(***)