සරසවි අදුරුතුමියට පිහිපහර


 

යසෝදරා කදිරගාමර් තම්බි මහත්මිය

 

අම්මෝ අනේ මට කොටනවා. මාව බේරාගන්න යනුවෙන් කාන්තාවක් මරළතෝනි දෙන හඬින් නාවල විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන්, වරියන්, අනධ්‍යයන සේවක මණ්ඩලය හා සිසු සිසුවියන් කඩි ගුලක් සේ ඇවිස්සීමට වැඩි වෙලාවක් ගත වූයේ නැත.

මරළතෝනි හඬ ඇසී ඇත්තේ විවෘත විශ්වවිද්‍යාලයේ මානව හා සමාජ විද්‍යා ගොඩනැගිල්ල දෙසිනි.

ඒ මරළතෝනි හඬ ඔස්සේ දිවගිය අයට දක්නට ලැබී ඇත්තේ මානව හා සමාජ විද්‍යා පීඨ ගොඩනැගිල්ලේ බිම් මහලේ පිහිටි පඩි පෙළක් අසල කාන්තාවක් ලේ ගලන තුවාල සහිතව බිම වැටී කෙඳිරිගාමින් සිටින අයුරුය.

ලේ ගලන තුවාල සහිතව බිම වැටී සිට ඇත්තේ  නාවල විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය යසෝධරා කදිරගාමර්තම්බි මහත්මිය බව හඳුනාගෙන තිබේ.

බරපතල කැපුම් තුවාල ලබා සිටි යසෝදරා කදිරගාමර් තම්බි මහත්මිය වත්තන් කරගෙන ගොස් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකුට අයත් මෝටර් රථයක දමාගෙන කඩිනමින් රැගෙන ගියේ කොළඹ ජාතික රෝහල වෙතය.

අනේ මට මැරෙන්න දෙන්න එපා. කොහොම හරි මගේ ජීවිතය බේරා ගන්න. මට වේදනාව ඉවසගන්න බැහැ යැයි යසෝදරා මහත්මිය රෝහලට රැුගෙන යන අතරවාරයේ පවසා ඇති බව දැන ගැනීමට ලැබුණේ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකුගෙනි.

අපි කොහොම හරි මැඩම්ගේ ජීවිතය බේරා ගන්නවා. හිතන තරම් බරපතල තත්ත්වයක් මැඩම්ට නැහැ. ඒ නිසා මැඩම්ට බය වෙන්න දෙයක් නැහැ.” යැයි කියමින් මෝටර්රථයේ සිටි අය ඇයගේ හිත සනසා ඇත.

 

 

රෝහලට රැගෙන යන තෙක්ම ඇය ගියේ වේදනාව ඉවසාගත නොහැකිව කෙඳිරි ගාමින්ය. එල්ල වූ මාරාන්තික පිිහි පහරකින් ඇයගේ කෙස්වැටියෙන් කොටසක්ද කැපීගොස් තිබිණි.

මමයි මැඩම්ට මන්නා පිහියකින් කෙටුවේ” යැයි පවසමින් තරුණයෙක් උඩුමහලට දිවගොස් ඇති අතර පිරිසක් පසුපස ගොස් ඔහු අල්ලා ගැනීමට සූදානම් වී ඇත.

එකෙක්වත් කිට්ටුවට එන්න එපා. ළඟට ආවොත් උඹලා එකෙක් නෑර පෙති ගහනවා. ජීවිතේට ආශාවක් එහෙම තියෙනවා නම් කිට්ටු වෙන්න එපා.
පිහියක් අමෝරාගත් තරුණයා කෑමොර දී ඇතැයි කියන්නේ සිහිවිකල් අයෙක් ලෙසිනි.

එක් වරම පිහිය බිම දැමූ තරුණයා මමයි මැඩම්ට කෙටුවේ යැයි නැවතත් පවසමින් අත්දෙක දිගු කරගෙන ඉදිරියට පැමිණෙනවාත් සමග කථිකාචාර්යවරයෙක් ඔහු අල්ලාගෙන හිතේ තිබුණ කේන්තියටත් එක්ක වැරෙන් කම්මුලට පහරක් ගසා ඇති බව පවසති.

විවෘත විශ්වවිද්‍යාලයේ පිිරිසක් විසින් අල්ලාගනු ලැබ සිටි සැකකාර තරුණයා කලිසම් සාක්කුවේ දමාගෙන සිටි පෙති වර්ගයක් අතටගෙන කටට දමා ගැනීමට උත්සාහ කර ඇති අතර ඔහුගේ අතට වැරෙන් පහරක් ගැසීම නිසා අතේ තිබූ බෙහෙත් පෙති ටික විසිවී ගොස් ඇත.

සැකකාර තරුණයා එහි සිටි පිරිස්වලට බෝතලයකින් පහරදීමටද උත්සාහ කර තිබේ.

 

 

මේ වන විටත් මිරිහාන පොලිසිියට සිද්ධිය ගැන දුරකථනයෙක් කතා කර දැනුම්දී තිබිණි.

විවෘත විශ්වවිද්‍යාලයේ සිදුවූ මේ සිද්ධීය සැල වු වහා මිරිහාන මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් අනුරුද්ධ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් කඩිනමින් එහි ළඟා වී ඇති අතර අල්ලාගෙන සිටි තරුණයා පොලිස් කණ්ඩායමට බාරදී ඇත.
පොලිස් කණ්ඩායම ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

සර් මම පෙති වගයක් බීලයි ඉන්නේ. මම තව ටික වෙලාවයි ජීවත් වෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු පවසා ඇත්තේ අපරාධ විමර්ශන අංශයේ ස්ථනාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් අනුරුද්ධ මහතා සමගය.
සැකකරුගේ මෙම ප‍්‍රකාශය ඇසු සැණින් පොලිස් පරීක්ෂක අනුරුද්ධ මහතා විශ්වවිද්‍යාලයට අයත් වාහනයක නංවා ඔහු කළුබෝවිල රෝහලට පිටත් කර හරිනු ලැබුවේ පොලිස් නිලධාරීන්ගේ දැඩි රැකවරණය යටතේය.

බිම වැටී තිබූ බෙහෙත් පෙති 10-15ක් පමණ අහුලාගත් පොලිස් පරීක්ෂක අනුරුද්ධ මහතා ඒවාද සිය නිලධාරීන්ගේ අතට පත් කරනු ලැබුවේ ප‍්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට ඒවා ලබාදෙන ලෙස දන්වමිනි. යසෝධරා මහත්මියට මන්නයෙන් කෙටීමෙන් පසු සැකකරු බෙහෙත් පෙති වර්ගයක් පානය කර ඇත්තේ සියදිවි නසා ගැනීමේ අරමුණින් බව පොලිසියට පෙනී ගොස් ඇත.

කළුබෝවිල දකුණු කොළඹ මහ රෝහලට සැකකරු ඇතුළත් කරනු ලැබ ඇත්තේ 19 වැනිදා පස්වරු 1.45ට පමණ බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ලයනල් මොහන්දිරම්ගේ මහතා පවසයි.

සිහි මුර්ජා වී සිටි ඔහුට පැයකට වැඩි කාලයක් කෘති‍්‍රම ශ්වසනය ලබාදීමෙන් පසු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

සැකකරු පානය කරන ලදැයි කියන බෙහෙත් පෙති වර්ගයෙන් කොටසක්ද එවා තිබූ නිසා ඔහුට ප‍්‍රතිකාර කිරීමට එය වඩාත් පහසු වූ බව රෝහලේ වෛද්‍යවරයෙක් පැවසීය.

ශරීරගත වී ඇති බෙහෙත් වර්ගය හඳුනාගෙන ඒ අනුව ප‍්‍රතිකාර කිරීමට හැකි වූ නිසා ඔහුගේ ජීවිතය බේරා ගැනීමට එයද බලපා තිබේ.
යසෝධරා මහත්මියට මන්නා පිහියකින් කොටා ඇත්තේ ඇය යටතේ නීති උපාධිය හදාරණ සිසුවෙකි.
නීති උපාධිය හදාරණ මොහු වෛද්‍යවරයෙකි.

යාපනය, පලාලි ප‍්‍රදේශයේ පදිංචි ඒ. සුරේන්ද්‍රජිත් (40) නමැති මොහු වෛද්‍ය සභාවේ 18252 අංකයෙන් ලියාපදිංචි වී ඇති අයෙක් බවට අනාවරණය වී තිබෙන බව නාවල විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය විජිත නානායක්කාර මහතා පවසයි.

යාපනය විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය හදාරා කාලයක් යාපනය ශික්ෂණ රෝහලේ සේවය කර ඇති අතර මොහු පසුව රජයේ සේවයෙන් ඉවත් වී වත්තල, හැඳල ප‍්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය අයෙකි.

විවාහකයකු වන මොහුගේ බිරිඳ සහ එකම දරුවා  ඕස්ටේ‍්‍රලියාවේ පදිංචිව සිටින අතර සැමියා හා බිරිඳ අතර ද විරසකකම් තිබෙන බවට තොරතුරු පොලිසියට ලැබී ඇත.

වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන අතරවාරයේ නීති උපාධිය හැදෑරීම සඳහා මොහු නාවල විවෘත විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වී ඇත.

ව්‍යාපෘති වාර්තාවක් පිළිබඳ මතුව තිබූ ප‍්‍රශ්නයක් මත සැකකාර වෛද්‍යවරයා යසෝධරා මහත්මිය අතර මතබේදයක් තිබී ඇති බවත් නීති අංශයට අයත් විෂයන් කිහිපයක් වාර තුනකදී අසමත්වීම හේතුවෙන් ඔහු (වෛද්‍යවරයා) කලකිරීමට පත්ව ඇයට දෝෂාරෝපණය කර තිබූ බවත් පොලිස් පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය  වී තිබේ.

 

 

සැකකාර වෛද්‍යවරයාගේ උපාධි පරීක්ෂණයට අදාළ ව්‍යාපෘති වාර්තාවක් බාරදීමට ඔහු පසුගිය 18 වැනිදා නීති අධ්‍යයන අංශාධිපතිනිය වෙත පැමිණි අවස්ථාවේ එදා වාර්තා බාර ගන්නා අවසන් දිනය වූ නිසාත් ඒ වන විට සවස 4.00 පසු වී තිබූ නිසාත් වාර්තාව බාර ගැනීමට නොහැකි බව ඇය පවසා ඇති බව දැන ගන්නට ඇති බව පැවසුවේ විශ්වවිද්‍යාලයේ උසස් නිලධාරිනියකි.

අංශාධිපතිනියගේ දැනුම්දීම මත එම වෛද්‍යවරයා එවිට ගොස් පසුදින උදේ නාවල විවෘත විශ්වවිද්‍යාලයට පැමිණ අංශාධිපතිනියගෙන් පළිගන්න හොඳ අවස්ථාවක් උදා වෙනතෙක් ගත කර ඇති බවට ද තොරතුරු පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

වෙළෙඳ සලකින් අලූත් පිහියක්ද ෆාමසියකින් පෙති වර්ගයක්ද මිලදී ගෙන ඇති අතර පිහිය ඔහුගේ පොත් බෑගයේ සඟවාගෙන විශ්වවිද්‍යාලයට ඇතුළු වී තිබේ. විශ්විද්‍යාලයේ නීතිය හදාරණ සිසුවෙක් නිසා කිසිවෙක් ඔහු මෙවැනි අපරාධයක් සිදු කිරීමට පැමිණි අයෙක් බව කිසිසේත්ම සැකකර නොමැත.
ඉන්පසු වූ දේවල් ගැන අප විවෘත විශ්වවිද්‍යාලයේ පෞද්ගලික ආරක්ෂක අංශයක් යටතේ ආරක්ෂක කටයුතුවල නිරතව සිටින ආරක්ෂක නිලධාරිනියක් වන පී. පේ‍්‍රමවති මහත්මියගෙන් අසා දැන ගතිමු.

අංශාධිපතිනියට පිහියකින් කොටනවා දැක ඇත්තේද පේ‍්‍රමවතී මහත්මිය පමණකි.

මේ පේ‍්‍රමවතී මහත්මිය පවසන කතාවයි.

සමාජ විද්‍යා මානව ශාස්ත‍්‍ර විද්‍යා පීඨයේ බිම් මහලේ සිටින අතරවාරයේ මම දැක්කා යසෝධරා මැඩම් කැන්ටිමේ සිට මැඩම්ගේ නිල කාමරය වෙත යෑමට උඩු මහලට යන්න යනවා. ඒ එක්කම කාන්තාවක් අම්මෝ කියා කෑගසමින් මරළතෝනි දෙනවා ඇසුණා. ඒ කෑගැසීම ඇසුනේ කොහෙන්ද කියා මට එක් වරම හිතා ගන්න බැරිව ගියා. මම පඩි පෙළ ගාව ඉඳන් උඩ බලන කොට යසෝධරා මැඩම් පඩි පෙළේ වැටිලා හිටියා දැක්කා. තරුණයෙක් මැඩම්ගේ බෙල්ලට සහ අතට පිහියකින් කොටනවා දැක්කා. මම උදව් ඉල්ලා කෑගැසුවා.

මගේ කෑගැසීම ඇසී කට්ටිය දුවගෙන ආවා. මැඩම්ට පිහියෙන් ඇන්න තරුණයා මැඩම්ව අතහැර දමා පඩි පෙළ දිගේ උඩට දිව්වා. කට්ටියක් උඩට ගියා ඒ තරුණයා අල්ලගන්න. එයා අල්ලන්න හදනකොට පිහිය පෙන්නලා ළඟට එන්න එපා කියා තර්ජනය කළා. පසුව කට්ටිය ඔහු අල්ලගෙන පහළට රැුගෙන ආවා දැක්කා යැයිද පේ‍්‍රමවතී මහත්මිය පවසන්නීය.

පේ‍්‍රමවතී මහත්මිය ආධාර ඉල්ලා යටිගිරියෙන් කෑනොගහන්නට සැකකරු යසෝධරා මහත්මියට මියයන තෙක්ම පිහියෙන් කෙටීමට ඉඩ තිබූ බවට පොලිසිය සැක කරයි.

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලද යසෝධරා මහත්මිය ශල්‍ය වෛද්‍ය විශේෂඥ කි‍්‍රෂාන්ත මෙන්ඩිස් මහතා විසින් ශල්‍යකර්මයකට ලක් කර ඇති අතර ඇය දැන් සුවය ලබමින් සිටින්නීය.

ඇයගේ හිසේ කැපුම් තුවාල හතරක්ද උරහිසේ සහ අතක කැපුම් තුවාල වී තිබෙන බව රෝහල් වෛද්‍යවරයෙක් පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව යටතේ කළුබෝවිල රෝහලේ තවමත් නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් පසුවෙයි.

බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ කොළඹ බස්නාහිර දකුණු දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ නුගේගොඩ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. එම්. එම්. වික‍්‍රමසිංහ සහ නුගේගොඩ සහකාර පොලිස් අධිකාරි ජයන්ත අතපත්තු යන මහත්වරුන්ගේ උපදෙස් මත මිරිහාන මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලැබුවේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් අනුරුද්ධ මහතා ප‍්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.

පොලිස් සැරයන් නන්දසේන (56945) සහ කොස්තාපල් රත්නායක (66191) යන මහත්වරුන්ද මෙම පරීක්ෂණවලට හවුල් වී ඇත.


 

සටහන : ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය / ඡායාරූප : රොමේෂ් ධනුෂ්ක ද සිල්වා