හිතාමතාම ජාතියට වසකවන ජාතිද්‍රෝහියෝ


මිනිස් පරිභෝජනයට නුසුදුසු කුකුළු මස් කිලෝ 700 ක ප්‍රමාණයක් ලොරි රථයකින් රැගෙන යමින් සිටිය දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් මැදිහත්වී අත්අඩංගුවට ගැනීමේ පුවතක් අප පුවත්පත ඉකුත්ද‌ා වාර්තා කළේය. වව්නියාව දකුණු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම මෙහෙයුම කළ බව ද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

මිනිසාගේ ආහාර රටාව හා නිරෝගීකම අතර ඇත්තේ අවියෝජනීය බැඳීමකි. අලාභම කර ගන්නා මිනිස් සමාජය සතු පරම භාග්‍ය නිරෝගිකම බව අවිවාද‌ාත්මක සත්‍යයකි. බොහෝ ලෙඩ රෝග සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ගේ ප්‍රධාන උපදේශය වන්නේ ‘ආහාරවලින් පරිස්සම් වන’ ලෙසය. විද්‍යාව කොතෙක් ඉහළ දියුණුවක් ලබා තිබුණ ද තවමත් ‘හඳුනා නොගත් රෝග’ යනුවෙන් විශේෂිත රෝග විශේෂයක් තිබෙන බව ද විශේෂයෙන් සිහිපත් කළ යුතුය.

කොරෝනා මාරක වසංගතය මුළු මහත් මානව සමාජයම තම සැහැසි ග්‍රහණයට ගෙන වසර එක හමාරක් පමණ වේ. පළමුවෙන් චීනයේ වූහාන් නගරයෙන් ඇරැඹුණු කොරෝනා වයිරසය පසුව මහාද්වීප පසු කරමින් දේශසීමා අතික්‍රමණය කරමින් ලෝකය පුරාම ගියේය. මෙම කොරෝනා වයිරසය කෙසේ උත්පාද වූයේ ද යන්න සම්බන්ධයෙන් තවමත් නිශ්චිත පිළිතුරක් නැත. එකල ප්‍රබල ලෙස පැතිර ගිය එක් මතයකින් කියවුණේ චීන්නුන්ගේ ආහාර රටාව හා කොරෝනා වයිරසය අතර සමීප සම්බන්ධයක් තිබෙන බවය.

කරුණු කාරණා එපරිදි වන විට මුළු මහත් මානව සමාජයටම ආහාර සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට සිදුව තිබේ. එසේ තිබිය දී අප රටෙන් වාර්තාවන්නේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය මිනිසා අතට පත් කිරීමේ ජාවාරම් බහුලව සිදුවන බවය. වව්නියාව දකුණු ප්‍රදේශයෙන් වාර්තා වූයේ එයින් එක් කුඩා සිදුවීමක් පමණී.

කොළඹ මීතොටමුල්ල කුණු කන්දට බහාලන කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය සෝද‌ා පිරිසුදු කර නැවත වෙළඳපොළට යවන ජාවාරම් තිබෙන බව වාර්තා විය. ඒවා මහා පරිමාණයෙන් සිදුවන ජාවාරම්ය. ඇතැම් ආහාර ද්‍රව්‍ය හා පානීය ඇසුරුම්වල ලේබල ගලවා ඉවත්කර අලුත් දින සහිත ලේබල් අලවා නැවත වෙළඳ පොළට යැවීම ද කුප්‍රකට ජාවාරම්කරුවන්ගේ තවත් ජඩ මාෆියාවකි.

 නරක් වූ අල කිලෝ සිය ගණනක් ශුද්ධකර නැවත වෙළඳපොළට යැවීමේ ජාවාරමක් අතටම හසුකර ගැනීමේ පුවතක් ඉකුත් සමයේ වාර්තා විය. මෙබඳු සිදුවීම් බහුලවීම රටේ පැවැත්මට මාරාන්තිකය.

බොහෝ නගරවල හෝටල්වල ඉතිරිවන වෑංජන නැවත මුළුතැන්ගෙට ගොස් එළවළු රොටි වී පැමිණෙන බව ප්‍රසිද්ධ රහසකි. කොත්තු රොටි ද එසේමය. කෑම බීමත් ජාවාරම් බවට පත්කර ගන්නා අමන අධම මිනිසුන් සිටින්නේ යැයි හිත හොඳ මිනිස්සු සිතති. එහෙයින් ඔවුහු  කිසිදු සැකයකින් තොරව එම ආහාරපාන භුක්ති විඳිති. තමන්ට වැළඳුණ රෝගය කුමක්දැයි නොදැනම මිය යාමේ ශාපලත් ඉරණම නිර්මාණය වන්නේ එසේය.

‘සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා’ යනුවෙන් බුදුපියාණෝ දේශනා කළහ. එයින් කියැවෙන්නේ සෑම සත්වයෙක්ම ආහාරයෙන් ජීවත්වන බවය. ඒ අනුව පැහැදිලි වන්නේ ආහාර යනු ජීවිතය පවත්වා ගෙන යාමට උපකාර වන්නක් බවය. ආහාර නොමැතිවීම කුසගින්නේ මිය යාමට හේතුවකි. ආහාර මිනිසාට අත්‍යවශ්‍ය වන්නේ එහෙයිනි.

ආහාර ගත යුත්තේ ජීවිතය පවත්වාගෙන යාමට බව අදහන ජනයා අතරේ ආහාරය පිණිසම ජීවත්වන නරුමයෝ ද සිටිති. මහජනයාට වස විස කවා තම මඩිය තරකර ගැනීමට පෙළඹෙන්නෝ ඔවුහු වෙති. සැබැවින්ම ඔවුහු සමූහ ජන සංහාරයක නියැලෙන්නෝ වෙති. මෙබඳු පාපතරයන් පැවත එන්නේ හිට්ලර්ගේ පරම්පරාවෙනි. නොඑසේ නම් මානව සමාජයෙන් මෙතරම්ම කෲර ලෙස පළිගැනීමට  ඔවුන්ට සිත් පහළ නොවනු ඇත.

 කොරෝනා මාරාන්තික වයිරසය හමුවේ මතු වූ අලුත් මානයක් ද වේ. එය නම් මෙම වයිරසයට මුහුණ දීමේ දී අපගේ ආහාර රටාව බලවත් සාධකයක් වූ බවය. එය බැහැර කළ නොහැකිය. සැබැවින්ම අප සතුව ඉතා ශක්තිමත් ආහාර රටාවක් තිබේ.

එය ඉතා සෞඛ්‍ය සම්පන්නය. දීර්ඝායුෂ රැගෙන ඒමට සමත් ජවයක් බලයක් අප ආහාර රටාව සතුය. රුපියල් ශතවලට ගිජු වූ පාපතරයන් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය වෙළඳ පොළට එවා එක් අතකින් සෞඛ්‍ය සම්පන්න අපගේ ආහාර රටාවේ අභිමානය බිඳ ද‌ායි. අනෙක් අතින් මුළු ජාතියම රෝගී කරවයි. මෙබඳු පාපතරයන්ට රජකාලයේ දඬුවම් ලබාදිය යුත්තේ එහෙයිනි.

(***)