හොලිවුඞ් සරාගිනිය මේගන් ෆොක්ස් - ලොව වසඟ කළ සුරූපිණියෝ


 

 

2007 වසරේ ‘ට‍්‍රාන්ස්ෆෝමර්ස්’ හොලිවුඞ් ක‍්‍රියාදාම චිත‍්‍රපටය ලොව පුරා තිරගත වෙද්දී, එහි ප‍්‍රධාන චරිතයක් නිරූපණය කළ සරාගී සුරූපිනිය, මේගන් ෆොක්ස් එක රැුයින් කාගේත් අවධානයට ලක් වූවාය. කුඩා කළ සිටම රංගනයට ඇලූම් කළ ඇය නිරූපිකාවක ද වන්නීය.

මේගන් ඩෙනිස් ෆොක්ස් උපන්නේ 1986 වසරේ මැයි 16 වැනිදා ය. ඇය උපන්නේ ටෙනිසී ජනපදයේ මෙම්ප්හිස් නුවර  ඕක් රිජ් පළාතේය. ඇගේ මව ග්ලෝරියා ඩාර්ලීන් ය. පියා ෆ‍්‍රැන්ක්ලින් තෝමස් ෆොක්ස් ය.

මේගන්, අයර්ලන්ත, ප‍්‍රංශ සම්භවයක් ඇත්තියකි. මේගන්ගේ මවත් පියාත් ආගමට නැඹුරු අය වූහ. එහෙයින් දැඩි නීතිරීති මැද අවුරුදු 12 වන තෙක් මේගන් අධ්‍යාපනය ලැබුවේ කතෝලික පාසලකය.

වයස අවුරුදු පහේ පමණ සිට මේගන් ගායන, නර්තන සහ රංගනය හදාරන්නට වූවාය. මේගන්ගේ මවත් පියාත් දික්කසාද වීමෙන් පසු, ඇය ඇගේ මව සමඟ ෆ්්ලොරීඩා ජනපදයේ ශාන්ත පිට්ස්බර්ග් නුවරට පදිංචියට ගියාය.

මේගන්ගේ මව යළි විවාහ වූ අතර, එම විවාහයෙන් ඇයට බාල සොහොයුරියක ද සිටී. මේගන්ගේ සුළුපියා ටෝනි ටොනෑසියෝ ‘නීතිකාරයකු’ වූ අතර, මේගන්ට යහළු යෙහෙළියන් ඇසුරු කිරීමට හෝ පාසල් යෑමට හැර නිවසින් පිටවීමට හෝ අවසර නොලැබිණි. සුළුපියාගේ තහංචි කොතරම් තිබුණ ද තම ගායන, නර්තන සහ රංගන කටයුතුවල නියැලීමට මේගන් සමත් වූවාය.

වයස අවුරුදු 16 සිට නව යොවුන් සුරූපිනියක වූ මේගන් නිරූපිකාවක ලෙස මෝස්තර නිරූපණ ක්ෂේත‍්‍රයට සම්බන්ධ වූවාය. ඇය කාගේත් අවධානයට ලක් වූයේ ඒ අනුවය. ‘ඇමෙරිකන් මොඩලින් ඇන්ඞ් ටැලන්ට් කොන්වෙන්ෂන්’ සංගමය, ඇමෙරිකා නිරූපිකාවන්ගේ දස්කම් ඇගයීම වෙනුවෙන් පවත්වන තරගාවලියේදී ඇය විශේෂ සම්මාන රැසක් දිනා ගත්තාය. ඒ 1999 වසරේදීය.

ජනපි‍්‍රයතාවය පසුපස හඹා යෑම නිසා මේගන්ගේ උසස් පාසල් කටයුතු අතරමඟ නැවැතිණ. ඊට වසර දෙකකට පසු, එනම් වයස අවුරුදු 19 වෙද්දී, ඇය මෝස්තර නිරූපිකාවක් ලෙස කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර පදිංචියට ගියාය.

රංගන හැකියාවක් තිබීම නිසා, හොලිවුඞ්පුරය සමඟ එක් වීමට මේගන්ට හැකිවුණේ ඒ අනුවය. 2001 වසරේ දී මේගන්ට ‘හොලිඬේ ඉන් ද සන්’ චිත‍්‍රපටයට සම්බන්ධ වීමට අවස්ථාවක් ලැබුණි. කෙසේ නමුත් ඇගේ රංගනය විචාරකයන්ගේ පැසැසුමට ලක් නොවිණි. ඒ ඇය රංගනයට ආධුනික වූ නිසාම නොවේ.
‘හොලිඬේ ඉන් ද සන්’ ප‍්‍රහසන චිත‍්‍රපටයක් විය. මේගන් රඟපෑමෙන් දායක වූයේ එහි අතුරු චරිතයකටය. එම චිත‍්‍රපටය මහා පරිමාණයේ සිනමා නිර්මාණයක් ද නොවිණි.

 

 

හොලිවුඞ් සුපිරි තාරකාවක ලෙස මේගන් ලෝ පුරා ජනපි‍්‍රය වූයේ 2007 වසරේ තිරගත වූ ‘ට‍්‍රාන්ස්ෆෝමර්ස්’ චිත‍්‍රපටය හරහාය. ට‍්‍රාන්ස්ෆෝමර්ස් චිත‍්‍රපටය සුපිරි හොලිවුඞ් අධ්‍යක්ෂ මයිකල් බේගේ අධ්‍යක්ෂණයක් වූ අතර එය නිෂ්පාදනය කළේ ස්ටීවන් ස්පීල්බර්ග්ය.

මේගන් මෙම චිත‍්‍රපටයේ රඟපෑවේ හොලිවුඩයේ ජනපි‍්‍රය නළුවකු වන ෂියා ලෙබෝෆ් සමඟය. ෂියා ලෙබෝෆ් චිත‍්‍රපටයේ පණ පෙව්වේ සෑම් නමැති නව යොවුන් වියේ තරුණයකුටය. ඔහුගේ පෙම්වතිය මිකේලා බේන්ස් ලෙස රඟපෑවේ මේගන් ෆොක්ස් ය. ට‍්‍රාන්ස්ෆෝමර්ස් චිත‍්‍රපටය වෙනුවෙන් 2008 වසරේ එම්.ටී.වී සිනමා සම්මාන උළෙලේදී වසරේ නැගී එන නිළිය ලෙස මේගන් ෆොක්ස් සම්මානයට පාත‍්‍ර වූවාය.

ට‍්‍රාන්ස්ෆෝමර්ස් ජනපි‍්‍රයත්වයත් සමඟ 2009 වසරේ දී මේගන් ‘හවුටු ලූස් ෆ්‍රෙන්ඞ්ස් ඇන්ඞ් ඒලියනේට් පීලප්’ නමැති ප‍්‍රහසන කතා මාලාවට සම්බන්ධ වූවාය. එම කතා මාලාව ජනපි‍්‍රය විය. ඒ, ඇමෙරිකාවේ නොව බි‍්‍රතාන්‍යයේය. ඊට හේතු වූයේ බි‍්‍රතාන්‍ය විකට නළු සයිමන් පෙග් ඊට සම්බන්ධ වූ නිසාය.

2009 වසරේ දී මේගන් දෙවැනි ට‍්‍රාන්ස්ෆෝමර්ස් චිත‍්‍රපටයට සම්බන්ධ වූවාය. පළමු චිත‍්‍රපටය තරම් එම චිත‍්‍රපටය සාර්ථක නොවිණි.

ට‍්‍රාන්ස්ෆෝමර්ස් චිත‍්‍රපටයෙන් ලැබූ අති විශාල ජනපි‍්‍රයත්වයෙන් පසු, 2009 වසරේ දී මේගන් ‘ජෙනිෆර්ස් බොඞී’ නමැති චිත‍්‍රපටයේ තවත් සරාගී චරිතයකට පණ පෙව්වාය. මේගන්ගේ සරාගී අඩ නිරුවත් දසුන් කිහිපයක් ද මෙම චිත‍්‍රපටයට ඇතුළත් වූ අතර මෙම චිත‍්‍රපටයේ කතාව වූයේ ජෙනිෆර් නමැති යුවතියගේ සිරුරට ආරූඪ වන නපුරු ආත්මයක් ගැන කතාවකි. අවාසනාවකට මෙම චිත‍්‍රපටය සාර්ථක නොවිණි.

2010 දී ඞී.සී. චිත‍්‍රකතා සමාගමේ ගොපලූ චිත‍්‍රකතා වීරයකු වන ජොනා හෙක්ස්ගේ චරිතය ඇසුරින් නිර්මාණය වූ ‘ජොනා හෙක්ස්’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය නිරූපණය කිරීමට මේගන්ට අවස්ථාවක් උදා විය. ‘ජොනා හෙක්ස්’ චිත‍්‍රපටය ‘ජෙනිෆර්ස් බොඞී’ තරම්වත් සාර්ථක නොවිණි.

මේ වනවිට අධ්‍යක්ෂ මයිකල් බේ සහ ස්ටීවන් ස්පීල්බර්ග් ට‍්‍රාන්ස්ෆෝමර්ස් චිත‍්‍රපට මාලාවේ තෙවැනි කොටස, ‘ට‍්‍රාන්ස්ෆෝමර්ස් 3: ද ඩාක් ඔෆ් ද මූන්’ චිත‍්‍රපටය නිර්මාණයට ලක ලෑස්ති වෙමින් සිටියහ.

මයිකල් බේ සමඟ බහින් බස් වීමක් හේතු කොට ගෙන, ට‍්‍රාන්ස්ෆෝමර්ස් 1 සහ 2 චිත‍්‍රපටවල මිකෙලාගේ චරිතය චිත‍්‍රපටයෙන් කපා හැරීමටත් මේගන් ඊට සම්බන්ධ නොකර ගැනීමටත් මයිකල් බේ තීරණය කළේය.

 

 

ඒ අනුව, ‘ට‍්‍රාන්ෆෝමර්ස් ද ඩාක් ඔෆ් ද මූන්’ චිත‍්‍රපටයේ සෑම්ගේ පෙම්වතිය වූයේ කාර්ලි ස්පෙන්සර් නමැති තරුණියයි. එම චරිතය නිරූපණය කළේ හොලිවුඞ් සිනමාවට නවක නිළියකි. ජනපි‍්‍රය නිරූපණ ශිල්පිනියක වන ඇය රෝසි හන්ටින්ටන් විට්ලී ය.

2012 වසරේ දී මේගන්, ‘දිස් ඊස් ෆෝටි’ යන චිත‍්‍රපටයේ රංගනයට එක් වූවාය.  දැන් ඇය 2014 වසරේ දී තිරගත වීමට නියමිත ‘ටීනේජ් මියුටන්ට්ස් නින්ජා ටර්ටල්ස්’ චිත‍්‍රපටයට සම්බන්ධ වී සිටින්නීය.

ලෝ සුපතල ‘එෆ්.එච්.එම්’ සඟරාව මෙන්ම රුසියාවේ ‘මැක්සියම්’ සඟරාව ද 2009 වසරේ දී ලොව සරාගී නිළියන් 25 දෙනා ගැන ඡුායාරූප පෙළක් පළ කළ අතර ඒවායේ ඉදිරියෙන් සිටියේ මේගන් ෆොක්ස්ය. ‘මූවිෆෝන්’ සඟරාව විසින් නම් කළ නැගී එන නවක තාරකාවෝ ලැයිස්තුවේ මුල්තැන ගැනීමට ද මේගන් එම වසරේ දීම සමත් වූවාය.

2010 වසරේ දී බ‍්‍රයන් ඔස්ටින් ගී‍්‍රන් සමඟ මේගන් විවාහ වූවාය. තරුණ නැගී එන නළුවකු ද වන බ‍්‍රයන් ඔස්ටින් ගී‍්‍රන් යොවුන් රසික රසිකාවියන්ගේ ආදරය දිනා ගැනීමට සමත් ව සිටියේ ‘බෙවර්ලි හිල්ස් 90210’ නවතම රූපවාහිනී කතා මාලාව හරහාය. බ‍්‍රයන් මීට පෙර විවාහ වී සිටි අයෙකි. එම විවාහයෙන් ඔහුට දරුවෙක් ද සිටී.

මොවුන් දෙදෙනා විවාහ වූයේ ආදර වන්තයන් ලෙස වසර දෙකක් ළඟින් ඇසුරු කිරීමෙන් පසුවය. මේගන් සහ බ‍්‍රයන්ගේ විවාහය සිදුවුණේ හවායි දුපත්වලදීය. හවායි සිටිද්දී  මේගන්ට ඇබැද්දියක් සිදුවිය. ඒ, මංගල දිනය දා බ‍්‍රයන් ඇයට දුන් කැරට් දෙකක් වටිනා දියමන්ති මුදුව හවායි වෙරළේ දී අතුරුදන් වීමය.  ඕපාදුප සඟරාවල එම සිදුවීම ලොකු අකුරින් පළ විය.

ඒ ගැන දෙස් විදෙස් ප‍්‍රසිද්ධියක් ද ලැබුණි. මේගන් ෆොක්ස් ගැන කාගේත් වැඩි උනන්දුවක් යොමු වුණේ 2012 දීය. ඒ ඇය ගැබිනියක යන පුවත ප‍්‍රසිද්ධියට පත් වීමය. ගැබිනියක ව සිටි මේගන් සහ බ‍්‍රයන්ගේ ඡායාරූප ද  ඕපාදුප සඟරාවල පළ විය. 2012 සැප්තැම්බර් 7 වැනිදා මේගන් පුතකු බිහි කළාය. ඔහු නෝවා ෂැනොන් ගී‍්‍රන්ය.

 

 

ලූසිත ජයමාන්න බයෝග‍්‍රැෆි ටෲ ස්ටෝරි වෙඩි අඩවිය සහ ‘විකිපීඩියා’ සහ අන්තර්ජාල තොරතුරු ඇසුරිනි