ෆේස් බුක් හෙවත් මුහුණු පොතේ සමාජ බලපෑම


 

 

අන්තර්ජාල සේවාවන්ගේ ව්‍යාප්තියත් සමග ඉතාම මෑතක දී නිර්මාණය වූ සමාජ ජාල වෙබ් අඩවියක් වශයෙන් ෆේස් බුක් (Face book) හෙවත් ‘මුහුණු පොත’ හැඳින්විය හැකිය. ෆේස්බුක් හැරුණු විට එවැනි සමාජ ජාල වෙබ් අඩවි රාශියක් ම ෆේස් බුක් නිර්මාණයෙන් පසුව බිහි විය. ෆේස්බුක් තරමටම ජනප‍්‍රිය සමාජ ජාල වෙබ්අඩවි ලෙස’twitter' සහ ’twoo’ සැලකේ. ඇතැම් සමාජජාල වෙබ් අඩවි වෘත්තිකයන් විසින් ද බහුලව භාවිත කෙරේ. නිදසුන් ලෙස ’Gate’ සහ ’Linkedin’ පෙන්වා දිය හැකිය. ශ්‍රී ලාංකික සමාජ සංදර්භය වෙතින් ඉතාම මෑතක පැනනැගුණු සිදුවීම් ඔස්සේ සමාජ ජාල වෙබ් අඩවි සහ ඒවායේ සමාජ බලපෑම පිළිබඳ කතිකාවක් නිර්මාණයවී තිබේ. සමාජ ශාස්ත‍්‍රීය දෘෂ්ටිකෝණයකින් සමාජ ජාල වෙබ් අඩවි සහ ඒවායේ සමාජ බලපෑම් පිළිබඳව විමසා බැලීම මෙම ලිපියෙන් අපේක්‍ෂා කෙරේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ළමා චිකිත්සාව පිළිබඳ විද්වත් පර්ෂදය’ (The American Academy of Pediatrics) විසින් ෆේස් බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි පිළිබඳ කරන ලද පර්යේෂණයක ප‍්‍රතිඵල ’Pediatrics’ නමින් හැඳින්වෙන සඟරාවෙහි පළ කර තිබුණි. එහි දැක්වෙන අන්දමට නව යෞවන යෞවනියෝ දවසකට දහ වරක් හෝ ඊට වැඩි වාර ගණනක් සිය ප‍්‍රියතම සමාජ ජාලයෙහි සැරිසරති. වර්තමානයෙහි අන්තර්ජාලයට ප‍්‍රවිශ්ට වීමට පරිගණකයක් අත්‍යවශ්‍ය නැත. බොහෝ නවීන දුරකථනවල අන්තර්ජාල පහසුකම් ඇති බැවින් අන්තර්ජාල ප‍්‍රවේශය පහසුවී ඇත. අනෙක් අතට වැඩිහිටියන්ට සාපේක්ෂව තරුණ පරම්පරාව නවීන තාක්ෂණයෙන් යුක්ත දුරකථන සහ වෙනත් විද්‍යුත් උපාංග භාවිතයට නැඹුරුවී ඇත. එබැවින් දිනකට සමාජ ජාල වෙබ් අඩවිවලට ප‍්‍රවේශ වන නව යෞවන යෞවනියන්ගේ සංඛ්‍යාව ඉහත දැක්වෙන සංඛ්‍යා ලේඛනවලට සාපේක්ෂව ඉහළ අගයක් ගනු ඇත. මෙම ප‍්‍රවණතාවයෙහි සාධනීය මෙන්ම නිශේධනීය සමාජ බලපෑම් දක්නට ඇත.

සමාජ ජාල වෙබ් අඩවි වෙත නැඹුරු වීම ඔස්සේ මිතුරු සමාජයක් ගොඩ නගා ගැනීමට ඒ කෙරෙහි යොමු වන තැනැත්තාට හැකියාව ලැබේ. ඒ ඔස්සේ නොදන්නා අධ්‍යාපනික කරුණු සාකච්ඡුා කිරීමට මෙන්ම ලෝක තතු විමර්ශනයට අවස්ථාව උදා කරගත හැකිය. විශේෂයෙන්ම තම රටට හෝ සංස්කෘතියට අයත් නොවන මිතුරු මිතුරියන් හෝ සමාජ සංවිධාන හඳුනා ගැනීම හරහා සංස්කෘතික සම්පර්කයක් ගොඩ නගා ගැනීමට ද ඔවුනට හැකි වනු ඇත.
එහෙත් ෆේස් බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි භාවිතයෙහි නිශේධනීය පැත්තක් ද දක්නට ඇත. මන්ද මීට කලකට ඉහත, වෙල් ඉපනැල්ලේ, වැව් තාවල්ලේ සහ ගේ ළඟ පිටියේ කෙළිදෙලෙන් සිටින සිය දු දරුවන්ගේ මිතුරු මිතුරියන් මව්පියන් ද හොඳින් දන්නා හඳුනන පිරිස්ය. එහෙත් ෆේස් බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ හමුවෙන මිතුරු මිතුරියන් ඇතැම් විට මව්පියන් තබා එකී දරුවන්ද නිසි ලෙස නොහඳුනන කණ්ඩායම්ය. ඇතැම් විට නියම නම්, ගම්, ස්ත‍්‍රී, පුරුෂභාවය ආදිය වසන් කරන අවස්ථා දැකිය හැකිය. මෙවන් පසුබිමක සිය දරුවන්ගේ යහලූ මිත‍්‍රාදීන් පිළිබඳව නිසි සොයා බැලීමක් කිරීමට මව්පියන් ඇතුළු වැඩිහිටියන්ට අසීරුය.

විවිධ සමාජ හා වෙළෙඳ සංවිධාන, දේශපාලනඥයන්, කලාකරුවන්, ක‍්‍රීඩකයන්, ග‍්‍රන්ථ කර්තෘවරුන්, සමාජ විශ්ලේෂකයන් මෙන්ම විද්වතුන් ද ෆේස් බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කරන ආකාරය දක්නට ලැබේ. ඉතාම අඩු පිරිවැයකින් සහ කෙටි කාලයකින් සිය පණිවුඩය හෝ වෙළෙඳ ප‍්‍රචාරණ දැන්වීම විශාල ග‍්‍රාහකයන් පිරිසක් අතරට රැුගෙන යාම පහසු කර වන බැවින් ඔවුහු සමාජ ජාල වෙබ් අඩවි වෙත වැඩි වැඩියෙන් නැඹුරුවී ඇත. මේ අනුව බලන විට ෆේ්ස් බුක් යනු හුදෙක් තරුණ පරම්පරාවට පමණක් ලඝු වන සමාජ භාවිතයක් නොවන බව පෙනී යන්නේය. මේ හේතුව නිසාම ෆේස් බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි මඟින් සමාජයට කරන බලපෑම උග‍්‍ර කර ඇත.

විශේෂයෙන්ම නව යෞවන වයසේ පසු වන්නන් සහ කුඩා දරුවන් කෙරෙහි සමාජ ජාල වෙබ් අඩවිය මඟින් සිදු වෙන නිශේධනීය බලපෑම වැඩිය. තමන් නොදන්නා අය සිය යහලූවන් ලෙස සිය සමාජ ජාලයට එකතු කර ගැනීම හරහා සිය වයසට හා අත්දැකීම්වලට නොගැලපෙන අය ඇසුරට කුඩා ළමයින් හා යෞවන යෞවනියන් යොමු වේ. විවිධ මානසික හා කායික රෝගවලින් පෙළෙන වැඩිහිටි පුද්ගලයන් සිය පහත් ආශා ඉටුකර ගැනීමට ෆේස් බුක් හෝ වෙනත් සමාජ ජාලයන් ඔස්සේ ඇසුරට වැටෙන අත්දැකීම් නොමැති එහෙත් කුතුහලයෙන් පෙළෙන නව යෞවන යෞවනියන් පහසුවෙන් පොළඹවා ගැනීම් පිළිබඳ මාධ්‍ය වාර්තා නිතර දක්නට ලැබේ.

කාර්යබහුල ජීවිත ගත කරමින් මුදල් සහ සමාජ තත්ත්ව පසුපස හඹා යන බහුතරයකින් සමන්විත වර්තමාන වැඩිහිටි පරම්පරාවකින් දරුවන්ට අවශ්‍ය කරන නිසි පෝෂණ අවශ්‍යතා සහ අධ්‍යාපනික අවශ්‍යතා ඉටුවුවත් දරුවන්ට අත්‍යාවශ්‍ය නිසි රැුකවරණය සැපයෙන්නේ නැත. අනෙක් අතට දරුවන්ට පාසල් සහ පෞද්ගලික අධ්‍යාපනය ලබාදීම සිය සමාජ ජීවිතයේ ඒකායන පරමාර්ථය ලෙස සලකන දෙමව්පියෝ දහම් පාසල් අධ්‍යාපනය, පාසල් ශිෂ්‍ය භට, බාලදක්ෂ, යෞවන සමාජ කටයුතු සහ සර්වෝදය වැනි සමාජ අධ්‍යාපන ආයතන සහ වැඩසටහන් වෙත සිය දරුවන් යොමු කිරීමට මැලිකමක් දක්වති.

දරුවන් එවැනි ආයතන සහ වැඩසටහන් වෙත යොමු වන්නේ නම් එක් අතකින් ඔවුන්ට අවශ්‍ය කරන සමාජ ජාලය එකී වැඩසටහන්වලදී හමු වෙන සම වයස් මිතුරු මිතුරියන් ඇසුරින් ගොඩනගා ගැනීමට හැකි වනු ඇත. අනෙක් අතට සමාජය පිළිබඳ අත්දැකීම්, ක‍්‍රමානුකූලව, වයසට ගැලපෙන ආකාරයට, හික්මීමක් ඇතුව ලබා ගැනීමට ද ඔවුනට අවස්ථාව සැලසෙනු ඇත.

මව්පියන්, ගුරුවරුන් සහ වැඩිහිටියන් සිය දරුවන්ගේ හොඳම සහ ළඟම මිතුරන් වශයෙන් කටයුතු කළ යුතුය. එවිට දෙපාර්ශවයටම වැරදි චර්යාවන්හි නිරතවීමට ඉඩක් නොලැබේ. අන්‍යොන්‍ය වාරණයක් නිරායාසයෙන්ම ගොඩ නැගේ. දෙමව්පියන් සහ වැඩිහිටියන් මෙන්ම ගුරුවරු ද දරුවන් සමඟ කටයුතු කිරීමේ දී සිය ළමා හා තරුණ කාලය අමතක නොකළ යුතුය. ඔවුන්ට ඔවුන්ගේ ඇසින් සහ මනසින් තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුය. එහෙත් එකී තේරුම් ගැනීම වැඩිහිටි බුද්ධිය සහ අත්දැකීම් සමඟ ගලපමින් වර්තමානයට අදාළ කර ගනිමින් ළමා සහ තරුණ ක‍්‍රියාකාරකම්වල සාධනීය සහ නිශේධනීය බලපෑම් පිළිබඳ විග‍්‍රහයක නිරතවීම අවශ්‍ය වේ. එසේ කිරීමෙන් ඇති වන අවබෝධය මිතුරු සහ ළෙංගතු ආකාරයට තරුණ සහ ළමා පුරපුරට තේරුම් කර දීමට තරම් වැඩිහිටියන් තුළ නම්‍යශීලීත්වයක් තිබිය යුතුය.

එහෙත් නවීන තාක්ෂණික උපාංග පිළිබඳ තරුණ පරම්පරාව සතු දැනුමට සාපේක්ෂව වැඩිහිටියන් සතු දැනුම අඩුය. මේ හේතුව නිසා ළමා සහ තරුණ පරම්පරාව තාක්ෂණික මෙවලම් ආශ‍්‍රිතව කරන කියන දෑ නිවැරදිව අධීක්‍ෂණයට බොහෝ වැඩිහිටියෝ අසමත්ය. පරිගණක ඇතුළු නවීන තාක්ෂණික මෙවලම් භාවිතය පිළිබඳව දැනුම්වත් වීමට සාපේක්ෂව සිය දරුවන්ගේ පරිගණක සාක්ෂරතාව පිළිබඳව උදම්වීමට සහ ඒ පිළිබඳව උදම් ඇනීමට බොහෝ දෙමව්පියෝ පුරුදුවී සිටිති. නිදසුන් ලෙස කුඩා දරුවන් පරිගණක ක‍්‍රීඩාවලට ඇබ්බැහිවී සිටීම ගැන ඇතැම් දෙමව්පියෝ සතුටු වෙති. තවත් නිදසුනක් ලෙස විභාග සමත් වුවහොත් නොයෙකුත් ත්‍යාග පිරිනමන බව පවසමින් දරුවන් අධ්‍යාපනය සඳහා උනන්දු කරවීමට බොහෝ මව්පියෝ ක‍්‍රියා කරන ආකාරය දක්නට ලැබේ. මීට කලකට ඉහත දී විභාගය හොඳින් සමත් වුවහොත් පාපැදියක් ගෙනත් දෙන බව පවසමින් මව්පියෝ දරුවන්ව පොළඹවන ලදහ. එහෙත් වර්තමානයේ දී ශිෂ්‍යත්ව විභාගයක් හෝ සාමාන්‍ය පෙළ විභාගය සමත් කර දීමට නම් ලැප්ටොප් පරිගණකයක් හෝ ස්මාට් දුරකතනයක් අවශ්‍ය බවට දරුවෝ මව්පියන්ට කියා සිටිති.

තමන්ට ළඟා වීමට නොහැකි වූ අධ්‍යාපන සහ උසස් සමාජ තලවලට ඇතුළු වීමට ඇති එකම මඟ අධ්‍යාපනයම බව විශ්වාස කරන ග‍්‍රාමීය සහ නාගරික පහළ මැද පන්තියේ මව්පියෝ සහ වැඩිහිටියෝ සිය දරුවන්ගේ මෙවැනි ඉල්ලීම් ඉටු කර දීමට දෙවරක් නොසිතාම එකඟ වෙති. ඉන්පසුව දරුවන් සිය ගුරුවරුන් සේ සලකා ඔවුන් කියන කියන දේ ඉටු කරයි. ඔවුන්ගේ කටයුතු පිළිබඳව නිසි අධීක්ෂණයක් නොකරති. දරුවන්ට සාපේක්ෂව තමන් වයෝවෘද්ධ, ගුණවෘද්ධ, ඥානවෘද්ධ ආදී වශයෙන් නොසලකති. නොදන්නා දැනුම ළඟා කර ගැනීමට උත්සාහ නොකරති. මෙවන් පසුබිමක් මත අන්තර්ජාලය ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි වගේම සිය මල් කැකුළු වන් දරුවන්ට එදිනෙදා ජන ජීවිතයේ දී හමු වන පාපී පුද්ගලයන්ගෙන් නරක බලපෑම් ඇතිවීම වළක්වා ලිය නොහැකිය.
මෙවැනි තත්ත්වයන් වැළැක්වීම සඳහා ඇති එකම මඟ සිය වයස පිළිබඳ පසුතැවිලි නොවී වෙනස් වන සමාජ සහ තාක්ෂණික දැනුම ළගා කර ගැනීමට වැඩිහිටියන් ක‍්‍රියා කිරීමය. වයස අවුරුදු අසූවේදී පරිගණක ඉගෙන ගත් සිංගප්පූරු නායක ලී ක්වාන් යූ වැඩිහිටියන් වෙනස් වන සමාජ සහ තාක්ෂණික දැනුම ළඟා කර ගත යුත්තේ කෙසේද යන්න පිළිබඳ කදිම නිදසුනක් සපයා ඇත.

ෆේස් බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි මගින් සිදු වන තවත් අහිතකර සමාජ බලපෑමක් ලෙස සයිබර් අවකාශගත තර්ජන හෝ හිරිහැර ’Cyberbullying’ පෙන්වා දිය හැකිය. මෙහි භයානක තත්ත්වය වන්නේ සයිබර් අවකාශය හෙවත් අන්තර්ජාලය යොදාගෙන වෙනත් තැනැත්තකුට තර්ජනය කිරීම හෝ හිරිහැර කිරීම ඉතිහාසයේ කිසිම යුගයක නොතිබූ තරමට පහසු දෙයක් බවට පත්වීම බව The University of Pittsburgh School of Medicine හි වෛද්‍ය විද්‍යාව සහ ළමා රෝග චිකිත්සාව පිළිබඳ මහාචාර්ය බ‍්‍රයන් ප‍්‍රිමැක් (Dr. Brian Primack) විසින් පෙන්වා දී ඇත. පෙර සඳහන් කළ පරිදි අනෝමීය සමාජ අවකාශය තුළ ජීවත් වන සමාජ ආචාරධර්ම, සිරිත් විරිත් නොතකන ජන ප‍්‍රජාවක් වෙතින් ’Cyberbullying’ නිරන්තරව සිදු විය හැකි අන්තර්ජාල වරදක් වනු ඇත.

සමාජ ජාල වෙබ් අඩවිවල නිරන්තරව සැරි සරන්නන් ‘ෆේස් බුක් විෂාදිය’ (Face book Depression)  නමැති මානසික රෝගයට ගොදුරුවීමේ අවදානමක් පවතින බව ද ආචාර්ය ග්වෙන් ඔ’කීප්ෆෙ (Dr. Gwenn O’Keeffe) පෙන්වා දී ඇත. මෙය ෆේස් බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි අධි භාවිතයෙහි භයානක සමාජ බලපෑමක් ලෙස හඳුනාගත යුතුව ඇත. ගෝලීයකරණ ප‍්‍රවාහය අපට නවතාලිය නොහැකිය. එය නැවැත්විය යුතු ද නැත. එහෙත් එයට ශක්තිමත්ව මුහුණදීමට හැකි වන පරිදි අක් මුල් සහිත නැණවත්, ගුණවත් තරුණ පම්පරාවක් අපි බිහි කර ගත යුත්තෙමු. ඒ සඳහා අධ්‍යාපන ආයතනවලත්, ආගමික ආයතන ඇතුළු සමාජ ආයතනවලත්, තරුණයන් සඳහා වූ වැඩසටහන්වලත්, ආණ්ඩුවේත් සමස්තයක් ලෙස මුළු මහත් සමාජයෙත් අවධානය යොමුවීම අත්‍යාවශ්‍ය වේ.