රටත් ශාසනයත් මුහුණ දී ඇති අර්බුදයෙන් ගලවා ගන්නා ලෙස ඉල්ලමින් දෙවුන්දර සිට කැලණිය රජමහා විහාරයට සංදේශයක් රැගෙන ධර්ම යාත්‍රාවක් දෙවිනුවර විෂ්ණු දේවාලය අසලින් පිටත්වූයේ ගිය සති අන්තයේය. මව්බිම සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් පැවැති එම කටයුත්තට නායකත්වය දුන්නේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසිනි. ධර්ම යාත්‍රාව සීනිගම දේවාලයට එද්දි දේවාලයේ ගේට්ටුවට ඉබි යතුරු දමා වසා තිබිණි. ආණ්ඩුව කොච්චර බයවෙලාද කියනවා නම් දෙවියන්ටත් ඉබි යතුරු දාලා වහලා රමේෂ් පතිරණ කීවේය. කෙසේ හෝ කපු මහත්වරුන් සොයාගෙන පසුව පූජාව පවත්වන්නට සංවිධායකයින්ට හැකිවිය. ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් සංවිධාන කටයුතුවල බර කරට ගෙන තිබුණේ පවිත්‍රා වන්නි ආරච්චි හිටපු ඇමැතිනියගේ සැමියා වන කාංචන ජයරත්නය.
ධර්ම යාත්‍රාව පසුවදා අලුත්ගම කන්දේවිහාරයට එද්දි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාද ඊට එක්විය. ජී.එල්. පීරිස් හිටපු ඇමැතිවරයාද මහින්ද සමග ආවේය. විහාරාධිපති හිමියන් බැහැ දුටු මහින්ද අතීත රස මුසු තැන්ද කතාබහ කළේය. “මම ඒ කාලෙ විපක්ෂයෙ මන්ත්‍රී කෙනෙක් විදියට ඉද්දි තංගල්ලෙ යන ගමන් කන්දේ විහාරයට ඇවිත් නායක හාමුදුරවො බැහැදැකලා දවල්ට කාලත් යනවා. ඒ වෙලාවට නායක හාමුදුරුවො තෙල් ගහගන්න කියල මගේ අතට සල්ලිත් දෙනවා. මම ජනාධිපතිවෙලා කන්දේ විහාරයට ඇවිත් දවල්ට කාලා යන්න හදද්දි හාමුදුරුවො සල්ලි දෙන්න හැදුවා. මම දැන් ජනාධිපති මට ආණ්ඩුවෙන් තෙල් ගහල දෙනවා කියලා මම කිව්වා” යැයි මහින්ද හිනාවෙමින් කීවේය.