
පිහි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ‘ෆ්ලයි ඩුබායි’ ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයේ සිටි, ඉන්දීය ජාතික ගුවන් නියමුවා වීරයකු බව පවසමින්, ඔහු ඇගයීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පමණක් නොව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද කටයුතු කර ඇත.
‘ෆ්ලයි ඩුබායි’ ගුවන් සේවයට අයත්, එෆ්.සෙඩ්. 1073’ එම මගී ගුවන් යානය, ඩුබායි සිට ඊශ්‍රායලයේ බෙන් ගුරියන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා පියාසර කරද්දී, එය උඩු ගුවනේ දී පැහැර ගනිමින්, එය ඊශ්‍රායලයට කඩා වැටීමට සැලැස්වීමටසහාය නියමුවා උත්සාහ ගත්තේ ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කළ ඉන්දීය ජාතික ස්මිත් මච්චර්ට පිහියක් පෙන්වා තර්ජනය කරමිණි. මෙම සහාය නියමුවා ඕමාන ජාතිකයෙකි.
සහාය නියමුවාට අවනත නොවුණු බැවින්, මච්චර්, පිහි ප්‍රහාරයට ලක් වී බරපතල තුවාල සිදුවිය. ඒ තුවාල පිටින්ම, සහාය නියමුවා සමග පොර බඳමින්, ස්මිත් මච්චර් නියමු කුටියේ දොර අගුලු විවර කළේය. යානයේ සිටි ‘ෆ්ලයි ඩුබායි’ සේවයේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට පමණක් නොව, සෙසු මගීන් ද නියමු කුටියට කඩා වැදී පිහිය අතැතිව සිටි සහාය නියමුවා අල්ලා ගනිමින් ඔහු යටත් කර ගැනීම ඒ අනුව සිදුවිය.
යානයේ සිටි ‘ෆ්ලයි ඩුබායි’ සේවයේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් දෙදෙනකු බටහිර ගුවන් නියමුවන් වූ අතර, අවසානයේ ගුවන් යානය සෞදියේ ටබුක් නුවර, සුල්තාන් බින් අබ්දුල්ලාසි ජාත්‍යන්තර ගුවන්තොටුපොළකට හදිසි ගොඩබෑම කළේ එම නියමුවන් දෙදෙනාගේ මැදිහත් වීමෙනි. තුවාල ලබා සිටි ස්මිත් මච්චර් කඩිනමින් රෝහල්ගත කෙරුණි. ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව පැවැසෙයි.
සහාය නියමුවා සමග පොර බදා, තුවාල ලබා, නියමු කුටියේ දොර කෙසේ හෝ විවර කර, කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සහ මගීන්ට, සහාය නියමුවා මෙල්ල කර ගැනීමට ඉඩ සලසා දී, ඊශ්‍රායල පුරවැසියන් ඇතුළු පුද්ගලයන් 174 දෙනකුගේ දිවි බේරා ගැනීමට ස්මිත් මච්චර් හැකිවීම ගැන ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි එක්ස් ගිණුම ඔස්සේ සටහනක් පළ කර ඇත්තේ එම වීර ක්‍රියාව අගය කරමිණි.
‘ඒක නම් ඇත්තෙන්ම වීර වික්‍රමයක්. ඔහු තුවාල වෙලා ලේ පෙරාගෙන කළ වික්‍රමය අගය කරන්න ඕනෑ. ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලැබෙනවා. මම ඒ ගැන සොයා බැලීමක් කළා’ යැයි මාධ්‍යවේදීන් හමුවේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දීය ගුවන් නියමුවා ගැන අදහස් දැක්වීමක් කර ඇත.
මේ අතර, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු සමාජ මාධ්‍ය ඔස්සේ පමණක් නොව, මාධ්‍ය හමුවේදී ද පෙනී සිටිමින් ඉන්දීය ගුවන් නියමුවාගේ වීර වික්‍රමය අගය කර ඇත. මෙම සිද්ධිය මුල්කොට ගනිමින්, ෆ්ලයි ඩුබායි ගුවන් සේවය, ඊශ්‍රායලය දක්වා ඔවුන්ගේ ගුවන්ගමන් තාවකාලිකව අත්හිටවූ බව ද පැවැසෙයි.

