උසස් පෙළ - ශිෂ්‍යත්ව විභාග සැප්තැම්බර් දක්වා කල්යයි


(ඩයනා උදයංගනී)

රට තුළ පැවති තත්ත්වය හේතුවෙන් දිගු කාලයක් පාසල් වසා තිබූ බැවින් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය කල්දැමීමට තීරණය කළ බව අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ඒ අනුව අගෝස්තු මස 5 වැනිදා ආරම්භ කිරීමට තිබූ එම විභාගය සැප්තැම්බර් 7 වැනිදා ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි ඇමතිවරයා කීවේය.

මෙවර උසස් පෙළ විභාගය  සැප්තැම්බර් මස 7 වන දින සිට ඔක්තෝබර් 2 වන දින තෙක් පැවැත් වීමට නියමිත බව ද ඇමතිවරයා සඳහන් කළේය.

අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ද සැප්තැමබර් 13 වැනිදා පවත්වන බව හෙතෙම කීවේය.

අගෝස්තු මස පාසල් නිවාඩු කාලය සැප්තැම්බර් මාසයට කල්දමා විභාගවලට පෙනී සිටින දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අගෝස්තු මාසය වෙන්කරන බව ද ඇමතිවරයා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.