හන්දි කරන ලද කුරුඳු තුළ අඟල් පහක් දිග යකඩ ඇණ සඟවා බර වැඩිකර කුරුඳු අලෙවි කිරීමේ ජාවාරමක යෙදුණු දෙදෙනකු හක්මන පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. අලෙවි කිරීමට රැගෙනවිත් තිබූ කුරුඳු තොගයේ නියමිත බර කිලෝග්‍රෑම් 14ක් වන බවත් කුරුඳුවල සඟවා තිබූ යකඩ ඇණවල බර කිලෝ හතරක් බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. කුරුඳු කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් දෙදහසක් වන බවත් රුපියල් අට දහසක මුදලක් වංචනිකව ගැනීමට සැකකරුවන් උත්සාහ දරා ඇති බවත් අප ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.
ව්‍යාපාරයක අරමුණ ලාභ ලැබීමය. ලාභ නොලබන ව්‍යාපාරයක් පවත්වාගෙන යා නොහැකිය. එහෙත් ලාභය ඉපැයිය යුත්තේ දැහැමි ලෙස හා සාධාරණ ලෙස ව්‍යාපාරය මෙහෙයවීමෙනි. අධාර්මික ලෙස හා අසාධාරණ ලෙස ව්‍යාපාර කිරීමෙන් තාවකාලිකව යම් ලාභයක් ලැබිය හැකි වුවද ඒවා ඵල නොදෙන බව ඒකාන්ත සත්‍යයකි. එබඳු වංචනිකයන්ගේ ආධ්‍යාත්මයෙන්ම ඔවුන්ට එරෙහිව නැගෙන චෝදනාවල බරින් හා වේදනාවෙන් පැසවමින් ජීවත්ව සිට මිය යාමට ඔවුන්ට සිදුවේ. කුරුඳු පොතු අස්සේ යකඩ ඇණ සඟවා බර වැඩිකර විකිණීමට ගිය ජාවාරමුන් දෙදෙනා වුවද ඉහත සත්‍ය අපට පසක් කරවයි.
සීනි ගෝනියට වතුර ගසා බර වැඩිකර විකුණන මුදලාලිලා සිටිති. මිරිස් කුඩුවලට ගඩොල් කුඩු මිශ්‍ර කර විකුණන හා ගම්මිරිස්වලට ගස්ලබු ඇට මිශ්‍ර කර විකුණා ලාභ සොයන ජාවාරම්කාරයෝ ද සිටිති. පොල්තෙල්වලට වතුර මිශ්‍ර කරන්නෝ ද සිටිති. පිළුණු එළවළු විසි නොකර එළවළු රොටි, මාළු පාන් සෑදීමට ගැනීම් ආදී වශයෙන් ආහාරපාන සමග ජාවාරම් කරන්නෝ ද සිටිති. මේ දිනවල වැඩියෙන්ම කතාබහට ලක්වන්නේ කහ වෙෙළඳාමය. කහ හිඟයක් පවතී. එහෙයින්ම කහ ගිනි ගණන්ය. එනිසාම කහවලට පාන්පිටි මිශ්‍ර කර වෙළෙඳපොළට එවන්නෝ ද සිටිති. බොර දියේ මාළු බාන්නා සේ කලදුටුකල වළ ඉහගන්නා අපතයෝ සිටිති.
මෙයට ටික කලකට ඉහත දී වාර්තා වූයේ ගොරකා සමග ටයර් කෑලි මිශ්‍රකර වෙළෙඳපොළට නිකුත් කළ කූඨ ව්‍යාපාරිකයකු සිටිය බවය. ගොරකා සහ ටයර් කෑලි පෙනුමෙන් සමාන බැවින් කෙනකුට ගොරකා සහ ටයර් කෑලි වෙන්කර හඳුනාගැනීම පහසු නැත. මෙබඳු කූඨ ව්‍යාපාර යනු මෙලොවදීම විපාක ලැබෙන මහා පාපකර්ම බව නිසැකය.
තේ ව්‍යාපාරයට ද මෙබඳු ජාවාරම්කරුවන්ගෙන් එල්ලවන තර්ජනය අති විශාලය. අප රටට විදේශ විනිමය ලබාදෙන ප්‍රධානම ආදායම් මාර්ගය වනුයේ තේ ව්‍යාපාරය වේ. එමෙන්ම ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකා සන්නාමය බවට සිලෝන් ටී පත්ව තිබේ. විදේශීය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට මෙම සිලෝන් ටී විශාල බලපෑමකි. එහෙත් ජාවාරම්කරුවන් නිසා ශ්‍රී ලංකා තේ දල්ලට තිබූ කීර්ති නාමයට හානිවී තිබේ.
කසළ තේ ජාවාරම ඉතා ජයටම සිදුවන්නකි. බැහැර කළ යුතු වුව ද කසළ තේ මෙම ජාවාරම්කරුවෝ හොඳ තේ සමග මිශ්‍ර කරති. එසේ මිශ්‍ර කරන කසළ තේ රසායනික ද්‍රව්‍ය යොදා වර්ණ ගන්වන බව ද වාර්තා වේ. මෙයින් සිදුවන්නේ ශ්‍රී ලංකාවේ ඉස්තරම් තේ සඳහා ජාත්‍යන්තරය තුළ වන පිළිගැනීම බිඳ වැටීමය. එහි තාර්කික අන්තය වන්නේ රටට විශාල වශයෙන් විදේශ විනිමය ලැබෙන මාර්ගයක් ඇහිරී යාමය.
හඬා බසින මහා ගංගාවක් බවට පත්වන්නේ උල්පතකින් නික්මෙන පුංචි දිය බිඳුවකි. ගිනිදැල්ල කුඩා වුවද එය මහා ගිනි ජාලාවක් බවට පත්වන බව වටහා ගැනීම වැදගත්ය. නයි පැටවා සතුව තිබෙන්නේ ද නයි විෂමය. එහෙයින් පරිස්සම් විය යුතුය. ජාවාරමක් කුඩා වුව ද එය සුළුවට ගෙන පහසුවෙන් බැහැර කළ යුතු නොවේ. මහා ජාවාරම් බවට පත්වන්නේ කුඩාවට කරගෙන ආ ජාවාරම් බව ද සිහිකට යුතුය.
මිනිසුන් වෙළෙඳපොළට යන්නේ එය මහා මාෆියා ලෝකයක් යැයි සිතාගෙන නොවේ. ඔවුන් බඩු භාණ්ඩ මිල දී ගන්නේ ද විශ්වාසයෙනි. තමන්ට නරක දෙයක් විකුණන්නට තබා ඇතැයි ජනයා නොසිතති. එහෙයින් වැඩි සොයා බැලීමකින් තොරව බඩු භාණ්ඩ මිල දී ගනිති. එහෙත් දැන් එම තත්ත්වය බෙහෙවින් වෙනස් වී තිබෙන බව ඉතා පැහැදිලිය. පාන් ගෙඩිය මිල දී ගැනීමට පෙර බර කිරා බැලීමට තරමට තත්ත්වය භයානකය.
වෙළෙඳපොළ යනු මුදා නොගත් ප්‍රදේශයක් බවට පත්ව තිබේ. එහි විවිධාකාර ජාවාරම්කාර ත්‍රස්තවාදියෝ බඩ පිනුම් ගසමින් සිටිති. එම ත්‍රස්තවාදියෝ මහජනයා ගල ග්‍රහණයට ගෙන සිටිති. මෙම ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මහා මානුෂික මෙහෙයුමක් නොපමාව ආරම්භ කළ යුතුය.
(***)