කොළඹදී විරෝධතා රැසක්


(ඩයනා උදයංගනී)

ආණ්ඩුවේ වැඩපිළිවෙලට විරෝධය පා සංවිධානය කර තිබූ විරෝධතා ගණනාවක් කොළඹ නගරයේ දී අද (4) දිනය පුරා පැවැත්විණි.

නිදහස් චතුරස්‍රය, ලිප්ටන් වටරවුම, ෂැංග්‍රිලා හෝටලය අසල, දියත උයන, රාජගිරිය ගුවන් පාලම අසල, නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට, කොළඹ ජාතික රෝහල හා කොළඹ විශ්ව විද්‍යාලය අසල, කොම්පඤ්ඤවීදිය ආදී වශයෙන් ස්ථාන රැසකදී ජනතාව විසින් විරෝධතා ගණනාවක් සංවිධානය කර තිබිණි..

ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළට විරෝධය පළ කරමින් තරුණ නීතිඥ සංගමය සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙන්ම වෘත්තිකයන් එක්ව සංවිධානය කළ සාමකාමී විරෝධතාවයක් ද කොළඹ ලිප්ටන් වටරවුමේදී පැවැත්විණි.

තරුණ නීතීඥයින් සහ ජනමාධ්‍යවේදීන් මෙන්ම විවිධ වෘත්තිකයින් විශාල පිරිසක් එයට එක්ව සිටියහ.

පැයකට අධික කාලයක් විරෝධතාවයේ නිරත වූ පිරිස අනතුරුව එම ස්ථානයේ දේශාභිමානී ගීත ගායනා කරනු දක්නට ලැබිණි.

කලාකරුවන් විසින් සංවිධානය කළ විරෝධතා කිහිපයක් බත්තරමුල්ල දියත උයන, රාජගිරිය ගුවන් පාලම, කොළඹ ෂැංග්‍රිලා හෝටලය ඉදිරිපිට දී පැවති අතර නළු නිළියන්, ගායක ගායිකාවන් ඇතුළු කලාකරුවන් රැසක් එයට එක්ව සිටිනු දක්නට ලැබිණි.

රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා, සංගීතා වීරරත්න, සමනලී ෆොන්සේකා, ඉන්ද්‍රචාප ලියනගේ, මහේෂි මධුෂංකා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්‍ෂා ස්වර්ණමාලි, තුමිඳු දොඩන්තැන්න, හේමාල් ගුණසේකර, මුතු තරංගා, අභිෂේකා විමලවීර, රයිනි චාරුකා, සජිත අනුත්තර, ශානිකා වනිගසේකර, නලීන් පෙරේරා, චිත්‍රාල් සෝමපාල, සංඛ දිනෙත්, දුලීකා මාරපන, අශාන්ති ද අල්විස්, පේෂල මනෝජ්, දමිතා අබේරත්න ආදී ජනප්‍රිය කලාකරුවන් රැසක් මෙම විරෝධතාවයන්ට එක්වූහ.

හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා මෙන්ම හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර මහතාගේ බිරිඳ වන යෙහාලි සංගක්කාර මහත්මිය ද කොළඹ දී පැවති විරෝධතාවන්ට එක්ව සිටියහ.

මෙම විරෝධතා පැවති ස්ථානවලින් ගමන්ගත් වාහනවල රියදුරන් වාහනවල නලා නාද කරමින් විරෝධතාවයන්ට සහය දැක්වූ අතර ඇතැමුන් ජල බෝතල් ආදිය බෙදාදෙමින් ඔවුන්ට සහයෝගය ලබාදුන්හ.

එමෙන්ම වාහනවල ගමන් ගත් පිරිස් ද තම වාහනවල ආණ්ඩු විරෝධී සටන්පාඨ සහිත පුවරු ප්‍රදර්ඹනය කරමින් ගමන් කරනු දක්නට ලැබිණි.