නාමල් පතලකට බසී


(අංජුල මහික වීරරත්න)

ලෝකයේ උසස්ම ශුද්ධ මිනිරන් නිධියක් (vein graphite) වන කුරුණෑගල මැල්සිරිපුර රාගෙදර මිනිරන් පතලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක් සහ කර්මාන්ත සංවර්ධන සාකච්ඡාවකට කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ සහභාගී විය.

පතලේ වත්මන් හිමිකරු වන ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න මහතා සමඟ සාකච්ඡාවක නිරත වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, රාගෙදර පතල නවීන තාක්ෂණය හා යන්ත්‍රෝපකරණ භාවිත කරමින් මෙරට මිනිරන් කර්මාන්තයේ නියැලෙන ආකාරය නිරීක්ෂණය කළේය.

ලෝකයේ හමුවන උසස්ම තත්ත්වයේ ස්වභාවික මිනිරන් නිධියක් මෙහි පිහිටා ඇති අතර, මිනිරන් ලෙස අපනයනය කිරීම වෙනුවට අගය එකතු කරන ලද (Value-added) නිෂ්පාදන සකස් කර රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගැනීමට රාගෙදර පතල මේ වන විටත් කටයුතු කරමින් සිටී. විශේෂයෙන්ම, ක්ෂය කරන ලද ග්‍රැෆයිට් ඔක්සයිඩ් (Reduced Graphite oxide) සහ ග්‍රැෆීන් ඔක්සයිඩ් (Graphene oxide) වැනි උසස් නැනෝ තාක්ෂණික නිෂ්පාදන මෙමඟින් සිදු කෙරෙන අතර, මෙම ව්‍යාපෘතිය හරහා ප්‍රදේශයේ රැකියා අවස්ථා රැසක් ද බිහි වී ඇත. මෙම කර්මාන්තය කුරුණෑගල දිස්ත්‍රික්කයේ තවදුරටත් සංවර්ධනය කිරීමටද නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමුවිය.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ, දඹුල්ල දක්වා ක්‍රියාත්මක වන නව අධිවේගී මාර්ග සංවර්ධනයත් සමඟ පතලට සහ අවට ප්‍රදේශවලට නව ආලෝකයක් ලැබෙනු ඇති බවයි. පතල ආශ්‍රිතව සංචාරක කර්මාන්තය ඉලක්ක කරගත් විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.