(අංජුල මහික වීරරත්න)
ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන ලබා දීම සඳහා මේ වන විට අතිරේකව වෙන් කරන ලද රුපියල් මිලියන 50ට අමතරව තවත් මුදල් අවශ්‍ය නම් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දුන්නේය.
ජනාධිපති අනුර දිසානායක මහතා මේ බව කීවෙි ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී අද (14) පැවති සාකච්ඡාවේදීය.
ගං වතුර පාලනය සඳහා නිශ්චිත හා තිරසර වැඩපිළිවෙළක් අවශ්‍ය බව ද ජනාධිපතිවරයා එහිදී කීය.
අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් කොළඹ, ගම්පහ, පුත්තලම හා කළුතර ජනතාවට කඩිනමින් සහන සැපයීම ප්රමුඛ කාර්යය කර ගන්නා ලෙසත් , ඉන් පසුව දේපළ හානි පූර්ණය සඳහා කටයුතු කරන ලෙසත්, ජනාධිපතිවරයා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.