(විමුක්ති එස් රුද්‍රිගු)
නිතර නිතර දිව පටලවා ගන්නා ඇමෙරිකානු ජනාධිපති බයිඩන් පසුගියදා නේටෝ සමුළුව අවසානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස්ට උප ජනාධිපති ට්‍රම්ප් කියා ඇමතීම පිළිබඳ සියල්ලන්ගේම අවධානය යොමු වූවේය.
එසේම නේටෝ සමුළුවේදී යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ලෙස හඳුන්වාදී එය ඉක්මණින් නිවැරදි කර ගැනීම සම්බන්ධයෙන්ද කාගේත් කතා බහට ලක්ව ඇත.
ඇමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස්ට උප ජනාධිපති ට්‍රම්ප් ලෙස ඇමතීම සම්බන්ධයෙන් බයිඩන්ගේ ප්‍රතිවාදියා වන ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරයා දැඩිව උපහාසයට ලක් කර තිබිණි. එසේම නේටෝ සමුළුවේදී යුක්රේන ජනාධිපතිවරයාව රුසියානු ජනාධිපතිවරයා ලෙස හඳුන්වා දීම හේතුවෙන් මේ වනවිට ජනාධිපති ජෝ බයිඩන්ගේ මානසික සෞඛ්‍ය තත්වය පිළිබඳව බරපතළ ගැටළුවක් මතුව තිබෙන බවද දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
පසුගියදා වොෂින්ටන් නුවර පැවැති 75 වැනි නේටෝ සමුළුවට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් නායකත්වය ලබා දුන්නේය.ඉන් පසුව පැවැති මාධ්‍ය හමුවකදී ජනාධිපතිවරයා පවසා සිටියේ තමන් කිසිම විටකත් ජනාධිපතිවරණයෙන් ඉවත් නොවන බවත් වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ නම් තමන් නිරෝගීව සිටින බවට පෙන්වා දීම සඳහා වෛද්‍ය පරීක්ෂණයකට වුවත් පෙනී සිටීමට තමන් සූදානම් බවත්ය.
දෙවැනි වතාවටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ තමන් ආරම්භ කළ දේවල්වල අවසානයක් දැකීමට බවත් තමා වෙනුවෙන් කිසිම විටකත් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.
පහතින් දැක්වෙන්නේ බයිඩන් මාධ්‍ය හමුවේ අදහස් පළ කරද්දී සිදුවුණු අකරතැබ්බ සම්බන්ධයෙන් පළ කළ සටහනකි.
(Sky News)