රන් හොරෙන් ගේන අලුත් ක්‍රමයක්


(ටී.කේ.ජී.කපිල)

ක්‍රෙඩිට් කාඩ් ලෙස සැකසූ රුපියල් කෝටි 11කට අධික  වටිනා රන් තොගයක් රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් අද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබුවාය. .

විවිධ වානිජ බැංකු විසින් නිකුත් කල ක්‍රෙඩිට් ලෙස බැලූ බැල්මට හැගී යන ආකාරයටම මේවා සකස් කර තිබේ . මේ ආකාරයට ශ්‍රී ලංකාවට රත්තරන් තොගයක් නීතිවිරෝධී ලෙස ගෙන ආ පළමු අවස්ථාව මෙය බැව රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීවරයෙක් පැවසීය .

කැරට් 24 රත්තරන්වලින් සකස් කරන ලද ස්වර්ණාභරණ ශ්‍රී ලංකාවට ගෙන ඒම තහනම් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් ද පළ කර ඇත්තේ මේ ආකාරයට නීතිවිරෝධී රත්තරන් ජාවාරම් මැඩලීමටය .

මෙම රත්තරන් තොගය නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන විත් ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි නිතර නිතර ගුවන් ගමන්වල යෙදෙන කාන්තාවකි .

ඉන්දියාවේ චෙන්නායි සිට  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියාය .

ඇය මුලින්ම ඩුබායි සිට ඉන්දියාවේ චෙන්නායි වෙත පැමිණ , එතැන් සිට ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයකින් මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණේ රේගු නිලධාරීන්ගේ අවධානය වෙනතකට යොමු කිරීමටය .

ඇය මේ වනවිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව හරහා ඩුබායි වෙත ගුවන් ගමන් 04 වරක් පමණ සිදු කර ඇති බව ඇයගේ ගුවන් ගමන් බලපත්‍රය පරීක්ෂා කළ රේගු නිලධාරීන් අනාවරණය කර ගෙන තිබේ .