ශ්‍රීලනීප නිර්මාතෘ සමරන්න දෙපිළකට බෙදේ


(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘ සහ හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 124 වැනි ජන්ම දින සැමරුම අද (8) ට යෙදී තිබූ අතර ඒ නිමිත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කළ සහ නියෝජනය කරන කණ්ඩායම් වෙන වෙනම සමරු උත්සව දෙකක් සංවිධානය කර තිබිණි.

එක් උත්සවයක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහ බණ්ඩාරනායක මහතාගේ දියණිවරුන් වන හිටපු ජනාධිපතිනි සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ද සහභාගීත්වයෙන් ගාලු මුවදොර පිහිටි එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ පිළිරුව අසලදී අද උදෑසන 8.30 ට පැවති අතර, අනෙක් උත්සවය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්‍ෂ මූලස්ථානයේ දී උදෑසන 9.30ට පැවැත්විණි.

බණ්ඩාරනායක පිළිරුව අසල පැවති උත්සවය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත්ව ආණ්ඩු පක්‍ෂයේ ඇමතිධූර දරණ, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ශ්‍රී.ල.නි.ප හිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජී.එල්.පීරිස්, නව ලංකා නිදහස් පක්‍ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම යන මහත්වරු, බණ්ඩාරනායක මහතාගේ දියණියක වන සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය සහ තවත් දේශපාලනඥයන් පිරිසක් ද සහභාගී වූහ.

නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවති උත්සවයට එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇතුළු එම පක්‍ෂ සාමාජිකයෝ පිරිසක් එක්වූහ. මෙම උත්සව දෙකම චාම් සහ අභිමානවත් අයුරින් සංවිධානය කර තිබිණි.

(ඡායාරූප ශාන්ත රත්නායක)