අංගම්පොර ශිල්ප දක්වමින් ඇදුරිඳුට උපහාර


 

(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
වසර පන් දහසක පමණ ඉතිහාසයකට නෑකම් කියන  දේශීය නර්තනය හා බැඳුණු අංගම්පොර සටන් කෞශල්‍යය පුරා වසර පනහක් තිස්සේ දැයට දායාද කළ ගුරු පියෙකුට උපහාර දැක්වීමේ අංගම්පොර සටන් කලා සංදර්ශනයක් පසුගියදා වේයන්ගොඩ තල්ගස්මොටේ ග්‍රාමයේදී උත්සවාකාරයෙන් පැවැත්විණිි.

මෙහිදී සිය ගෝල බාලයින්ගේ උපහාරයට පාත්‍රවූයේ අංගම්පොර කුණ්ඩලීනි සටන් ක්‍රමය වසර පනහකට වැඩි කාලයක් තිස්සේ දැයේ දරුවනට කියාදුන් ආර්.ඒ. සෙනෙවිරත්න රණවීර ගුරු පියාණන්ය.

සිය ගුරුවරයා යටතේ අංගම්පොර සටන් කලාව ප්‍රගුණ කළ වෛද්‍යවරුන්, නීතිඥයින්, ඉංජිනේරුවන් වැනි වෘත්තීයවේදීන් මෙන්ම පාසල්වියේ දරුවන්ද මෙම සටන් සංදර්ශනයට එක්ව සිටියේය. මෙම ගෝල පිරිස උඩුපිල හා යටි පිල වශයෙන් බෙදී එක් එක් දක්ෂතා නිරූපනය කරමින් තමන් උගත් සටන් කලාවේ හපන්කම් සිය ගුරු දේවයා ඉදිරියේ පෙන්වා දුන්නේ මහත් අභිමානයෙන් යුතුවය. අංගම්පොර සටන් කලාවට අලුතෙන්ම එක්වූ පිරිසකගේ නලල් පටි බැඳ ඔවුන් කුණ්ඩලීනි සටන් කලාවට එක් කරගැනීමද මෙහිදී ගුරු දේවයාණන් අතින් සිදුවිය. ඒ ඔවුන්ගේ අභිසෙස් මංගල්ලය හා සමවිය.

අංගම්පොර සටන් කලාවට අතපොත් තැබූ සිව් හැවිරිදි සිගිති දැරියකද තම දක්ෂතා පෙන්නුම් කරන ලද්දේ අනාගතයේ මේ සටන් කලාව තවදුරටත් රැකගෙන ජාතියේ අනන්‍යතාවයට එක් කරගන්නා පෙරමං සළකුනු තබමිණි.