අගමැති යාපනය සරසවියේ ගොඩනැඟිලි විවෘත කිරිමට යයි


(අංජුල මහික වීරරත්න සහ මඩුකන්ද  සිතුම් චතුරංග)

පේදුරුතුඩුවේ සිට හම්බන්තොට දක්වා සුවිශේෂි දියුණුවක් ඇතිකරමින් රටපුරා තරුණ තරුණියන් සඳහා උසස් ජීවිතයක් ලබාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිලිනොච්චියේදී අද (04) පැවසීය.

ශ්‍රී ලංකාව බෙදී වෙන්වී යුද්ධ කළ කාලය අවසන් බව කී අග්‍රාමාත්‍යවරයා සංවර්ධන යුගය උදාවී ඇති හෙයින් සියලු දෙනා එක්ව සංවර්ධන යුද්ධය ජයග්‍රහනය කිරීම සඳහා පෙළගැසිය යුතු බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ යාපනය විශ්ව විද්‍යාලයට අයත් කිලිනොච්චිය අරවියර් නගර් පරිශ්‍රයේ ගොඩනැගිලි කිහිපයක් විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

කිලිනොච්චි පරිශ්‍රයේ දේශන ශාලා , ශ්‍රවණාගාර , සිසු නේවාසිකාගාර සහ ගුරු නේවාසිකාගාර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් මෙදින විවෘත කෙරිණි.  රුපියල් මිලියන 500ක වියදමින් මෙම ගොඩනැගිලි ඉදිකෙරිණි.

යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චි පරිශ්‍රයට පැමිණි අග්‍රාමාත්‍යවරයා හින්දු සංස්කෘතික පිළිවෙත් අනුව ඉතා ඉහලින් පිළිගනු ලැබීය.

 
ඡායාරූප - ඉෂාන් සංජීව