අපේක්ෂා රෝහලට නව පෙට් ස්කෑනර් යන්ත්‍රයක්


පරිත්‍යාගශීලීන්ගේ ආධාර මත ලබාගත් පෙට් ස්කෑනර් යන්ත්‍රය මහරගම අපේක්ෂා රෝහලේ ස්ථාපිත කර අප්‍රේල් (01) සිට සේවා කටයුතු ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

කදීජා පදනමේ සභාපති එම්.එස්.එච් මොහොමඩ් මහතාගේ සහ සියලු මාධ්‍ය ආයතනවල මැදිහත්වීම මත මෙම මුදල මහජන ආධාර වශයෙන් එකතු කර සෞඛ්‍ය අමාත්‍යාංශයට දුන්  අතර අනතුරුව  පසුගිය වසරේ දෙසැම්බර් 24 වැනිදා පෙට් ස්කැනර් යන්ත්‍රය ගුවන් මගින් ශ්‍රි ලංකාවට ගෙන්වීය.

 ඉන් පසු ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන්වීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ජර්මනියේ සීමන්ස් ආයතනයෙන් යන්ත්‍රය ගෙන්වීමට පියවර ගෙන තිබිණි.

 රුපියල් මිලියන 202 ක් වැය කරමින් මෙම යන්ත්‍රය මිල දී ගෙන ඇති අතර  මෙම යන්ත්‍ර යෙන්a පිළිකා රෝගය සියුම්ව හදුනා ගත හැකි අතර, මසකට ස්කෑන් 100 කට වැඩි සංඛ්‍යාවක් සිදු කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

අප්‍රේල් මස 01 දායින් පසු සේවා කටයුතු ආරම්භ කිරීමත් සමග පිළිකා රෝගීන්ගේ සත්කාරක සේවා තවත් වැඩි කළ හැකි බව මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විල්ප්‍රඩ් කුමාරසිරි මහතා සඳහන් කළේය.
මේ දිනවල ජර්මනියේ සීමන්ස් ආයතනයේ ඉංජිනේරුවන් පැමිණ යන්ත්‍රය සවිකර ඇති අතර, එහි ක්‍රියාකාරීත්වය පරීක්ෂාවට ලක් කරමින් සිටින බවද  ඔහු සඳහන් කළේය.