අම්පාර සුපිරි බස් නැවතුම්පොළ විවෘත වෙයි


(ඉෂාන් සංජීව)

ශ්‍රී ලංකාවේ පහසුකම් වැඩිම බස් නැවතුම්පොළ ලෙස ඉදි කෙරුණු අම්පාර බස් නැවතුම්පොළ සහ වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීම අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (1) සිදුකෙරිණි.

රුපියල් මිලියන 286 ක් වැය කොට මෙම බස් නැවතුම්පොළ ඉදිකර තිබේ. පහත මාලයේ බස් රථ අංගනයේ මගීන් නංවා ගැනීම සඳහා වේදිකා 18ක්, මගීන්ට ගමනාන්තය පහසුවෙන් දැන ගැනීම සඳහා ඩිජිටල් තාක්ෂණය සහිත රූපවාහිනි පුවරු, ඉහළ මහලයට ගමන් කිරීමට ඇති තරප්පු පෙළවලට අමතරව අබාධිත පුද්ගලයන්ගේ පහසුව සඳහා විදුලි සෝපාන මෙන්ම වෙළෙඳසල් සහ බෝජනාගාර, මව්වරුන් සහ ළඳරුවන් සඳහා විවේකාගාර, පොලිස් මැදිරි, ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සිසිටිවි නිරික්ෂණ, හදිසි විදුලි බිඳ වැටීමකට මුහුණ දීම සඳහා විදුලි ජනන යන්ත්‍ර, රියදුරු විවේක ශාලා, අබධිතයන්ටද පිවිසීමේ පහසුකම් සහිත වැසිකිලි පද්ධතිවලින් මෙම බස් නැවතුම් පොළ සමන්විතය.

මෙම බස් නැවතුම් පොළෙන් වාර්ෂිකව රුපියල් මිලියන 6 - 8 අතර ශුද්ධ ලාබයක් ඉපයීමට නගර සභාව සැලසුම් කොට ඇති අතර එම අදායම අම්පාර ජනතාවගේ ඉදිරි වැඩ කටයුතු සඳහා යෙදවීමට නියමිතය.