අලි කරදරයට එරෙහිව ගම්මු පාරට බසිති


(ක.ග කරුණාරත්න)
 

තම ගම්මානවලට දිගින් දිගටම එල්ල වන වල් අලින්ගේ හිරිහැර වලක්වාලීමට පියවර ගන්නා ලෙස බල කරමින් මැදිරිගිරියේ ගම්මාන රැසක ජනතාව අද   පෙරවරුවේ මැදිරිගිරිය නගරයේ දී උද්ඝෝෂණයක් ආරම්භ කළහ.
 
මැදිරිගිරිය නගරයෙන් ආරම්භවූ මෙම උද්ඝෝෂණයට එක් වූ පිරිස මැදිරිගිරිය කළගෙඩි පාලම තෙක් පැමිණ මැදිරිගිරිය හිගුරක්ගොඩ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවෙහි යෙදීම නිසා එහි ගමනා ගමනය පැය ගණනාවක් තිස්සේ මුළු මනින්ම ඇණහිට තිබුණි.
 
උද්ඝෝෂණයට එක්ව සිටි ජනතාව කියා සිටියේ තම ගම්මානවලට පැමිණෙන වල් අලින් පලවා හැර දැනට අඩක් ඉදිකර තිබෙන විදුලි වැට සම්පූර්ණයෙන්ම ඉදිකර මෙම පීඩාවන් වැලැක්වීමට පියවර ගන්නා ලෙස‍යි. ජනජීවිත අඩාල වී තිබෙන මෙම වල් අලින්ගේ හිරිහැරයට නිසි විසඳුමක් ලබාදෙන තෙක් තමන් මෙම උද්ඝෝෂණය අත් නොහරින බවද ඔවුහු කියා සිටියහ.