අලි ප්‍රහාරයෙන් මිය ගිය අලි නායකයාට අවසන් ගෞරව


 

(කාංචන කුමාර ආරියදාස)

 

කලාවැව ජාතික උද්‍යානයේ සිටි දැවැන්තම වන අලියකුට  ඇතෙකු  විසින් පහර දී මරා දමා තිබෙන අතර කලාවැවේ  සිටින වන අලි රංචු පිටින් පැමිණ මරා දැමූ  රැහේ නායකයාට අවසන් ගෞරව දැක්වූ සංවේගජනක දර්ශනයක් දැක ගැනීමට හැකිවිය.

කලා වැව ජාතික උද්‍යානයේ අලි ඇතුන් 300ක් පමණ සිටින අතර එහි කණ්ඩායම් කිහිපයකට නායකත්වය ලබාදෙන බව කියන මෙම අලියා දින ගණනාවක සිට කලා වැවේ සිටින දැවැන්ත ඇතෙකු සමඟ ගැටුමක් ඇති කරගෙන ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.

මෙම ඇතාගේ දැඩි ප්‍රහාරයට ලක්ව අලි රංචුවට නායකත්වය දුන් අලියා ඊයේ (16) පස්වරුවේ මියගොස් තිබිණි.

මේ සමඟ අවට සිටි වනඅලින් රංචු දෙකක් පැමිණ මියගිය අලියා අසළට වී ඔහුට අවසන් ගෞරව දැක්වීම මෙන්ම ශෝකය ප්‍රකාශ කරන සංවේදී දසුන් එහිදී දැක ගැනීමට ලැබිණි.

කුඩා අලි පැටවු පවා එහි පැමිණ අලියාගේ මළ සිරුරේ සිය සොඩය ස්පර්ශ කරමින් වේදනාවෙන් යුතුව සිටියහ.

වනජීවී නිලධාරීන් කියාසිටියේ මෙවැනි අවස්ථා දුර්ලභ  බවයි. එසේම රංචුවේ සිටින ප්‍රධානියාට කරදරයක් වූ විට රංචුවේ අනෙකුත් වන අලින් මෙයාකාරයෙන් ඔහුව ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම වන අලින්ගේ ස්වභාවය බවයි.

කෙසේ වෙතත් මියගොස් වැටී සිටි වන අලියාට කැලේ සිටින අනෙකුත් අලි අවසන් ගෞරව දැක්වීමෙන් පසුව නැවතත් ඇතා පැමිණ අලියාගේ මළ සිරුරට ද සිය දළ වලින් ඇන ඇති බව වනජීවී නිලධාරීහු පවසති.