අලුත් සහල් මංගල්‍ය ජනපති ප්‍රධානත්වයෙන්


(අංජුල මහික වීරරත්න දයාරත්න ඇඹෝගම සහ රෝහණ චන්ද්‍රදාස)

ජාතික අලුත් සහල් මංගල්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පැවැත්විණි. 

සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙලාගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ මෙම අලුත් සහල් මංගල්‍ය අටමස්ථානාධිපති  පල්ලේගම හේමරතන නා හිමියන්ගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් 56 වන වරට සංවිධානය කර තිබුණි.

රජ සමයේ සිට පැවැත එන මෙම චාරිත්‍රය සදහා රට පුරා ගොවීන් රැසක් එක්ව සිටි අතර කලට වැසි වසිත්වා - කෙත්වතු සාරවත් වේවායි ප්‍රාර්ථනා කිරීමත්, කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වී සමෘද්ධිමත් ආර්ථීකයක් ඇති වේවායි රටට, ජාතියට සෙත් පැතීමත් මෙහිදී සිදු කෙරිණි.

අලුත් සහල් මංගල්‍යයට එක් වූ ජනාධිපතිවරයා පළමුව ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.

අනුරාධපුර සිංහ කණුව අසල සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දක්වා පැමිණි අලුත් සහල් රැගත් පෙරහර  ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වැලි මලුවට ගෙවැදිණි.

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නා හිමි විසින් අලුත් සහලින් රන් පත්‍රය පිරවීම ආරම්භ කළ අතර, ඉන් අනතුරුව සියලු පළාත් ආවරණය වන පරිදි රැගෙන ආ සහල්වලින් රන් පාත්‍රය පිරවීම සිදු කෙරිණි. මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මැද රන් පාත්‍රය සහලින් පිරවීමේ අවස්ථාවට  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක්විය.