අවුරුද්දට පෙර මහා සංඝරත්නයට පැන් පහසු කරවති


චමිල් රූපසිංහ

පරණ අවුරුද්ද සඳහා ගිහියන් විසින් ස්වාමීන් වහන්සේලා පැන් පහසු කිරිමේ මංගල්‍යයක් අද (12) උඩුනුවර පෙතියාගොඩ ගම්මානයේදි පැවැත්විණි.  

ගෙලිඔය තෙලබුගල නිග්‍රෝධඛෙත්ත මහා පිරිවෙනේ පරිවේනාධිපති  ගොඩමුන්නේ පඤ්ඤාකිත්ති නාහිමියන් පැවැසුයේ  මෙය 1834 වසරේ සිට පැවැත එන චාරිත්‍රයක් බවයි.

එලදැත්ත වලවුව හා සතර පේරුව වන එළදැත්ත, පෙතියාගොඩ, අරත්තන, බුලත්කොන්ඩ, හන්දෙස්ස යන ගම්මානවල දායකයෝ ගම්වැසියන් ස්නානය කරන පොදු ළිඳක් තෝරා ගනිති. ඉන් පසු ළිඳ පිරිසිදු කර පිරිත් කියා අවුරුදු දිනය වන තෙක් කාන්තාවනට ඒමට ඉඩ නොදී දායකයෝ ළිඳ ආරක්ෂා කරති.

පරණ අවුරුද්ද දින තෙළබුගල නිග්‍රෝධඛෙත්ත විහාරයේ වැඩසිටින හිමිවරුන් පෙරහැරෙන් එම පිරිසිදු කරගත් ළිද වෙත වඩම්මවා මහා සංඝරත්නයට පැන් පහසු කර සිවුරු ආදිය දායකයන් විසින්ම සෝදා පිරිසිදු කර දෙනු ලැබේ. අනතුරුව ගිලන් පස පිළිගන්වා නැවත මහා සංඝරත්නය පෙරහරින් විහාරයට වැඩම කරවීම ඉපැරණි චාරිත්‍රායයි.