ආගන්තුක සළඹ විශේෂයක් කැකිරාව හා අවටින් හමුවෙයි


(කුෂාන් ජයවර්ධන)

කැකිරාව හා අවට ප්‍රදේශයන්හි ගෙවතු කිහිපයක ආගන්තුක සත්ව විශේෂයක් සැරිසරන බව එම ප්‍රදේශවාසීහු පවසති.

සළඹයින්ට සමාන පෙනුමක් සහිත මෙම සත්ව විශේෂය වැඩි වශයෙන් රංචු වශයෙන් සැරිසරන අතර වැඩි වශයෙන් විශාල ගස්වල ලැගුම් ගන්නා බවක් දක්නට ලැබේ.

කැකිරාව නගරාසන්නයේ ඇති ඔලුකරද හා වෙරුංකුලම යනාදී ගම්මානවල මෙම ආගන්තුක සත්ව විශේෂය දක්නට ලැබේ.

ප්‍රදේශයේ ජනතාව පවසන්නේ මෙම සත්ව විශේෂය මින්පෙර තම ප්‍රදේශයේ සිටිනු දැක නොමැති බවයි.

දින දෙක තුනක පමණ කාලක සිට එම සත්වයා මෙම ප්‍රදේශයට සංක්‍රමණය වී ඇති බව ද ප්‍රදේශවාසීහු පවසති.

අත්තටු සහිත අගල් 1ක් පමණ දිගැති මෙම සත්ව විශේෂය පුල්ලි සහිත කලු හා අලු පැහැයෙන් යුක්තය.

ගෙල ප්‍රදේශයේ කහ පැහැති කුඩා ලපයක් වැනි සලකුනක් ද දක්නට ඇති අතර සිරුරේ යටි ප්‍රදේශය තැඹිලි පැහැයක් ගනී. ඉහලට ඉගිලීමේ හැකියාවද මෙම සත්ව විශේෂයට ඇත.

මෙම ආගන්තුක සත්ව විශේෂය සම්බන්ධයෙන් කැකිරාවට ආසන්න ගල්කිරියාගම දඹේවටන ප්‍රදේශයෙන් ද වාර්ථාවන අතර ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීන් ද එම සත්ව විශේෂය නිරීක්ෂනය කරනු ලැබ තිබේ.

ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක ඩී රාමසිංහ මහතා කියා සිටියේ එම සත්ව කොට්ඨාසය සළඹ විශේෂයක් වන අතර මේ සම්බන්ධයෙන් සිය දෙපාර්තමේන්තුවේ අදාළ අංශයන්ට දැනුම් දී ඇති බවයි.

දඹ හා හල්මිල්ල ශාඛවල වැඩි වශයෙන් එම සත්ව විශේෂය ලැගුම් ගන්නා බවක් දක්නට ඇති බවත්, මෙම සත්ව විශේෂය 2016 වසරේ ජූනි මාසයේ ද මෙම සළඹ විශේෂය ගල්කිරියාගම ප්‍රදේශයට පැමිණ සිට ඇති බවට ද දැනට සිදුකර ඇති විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇති බවයි.

එම සළඹ විශේෂය වගා හානි සිදුකර ඇති බවට මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව ද රාමසිංහ මහතා අපකළ විමසීමකදී පැවැසීය.

කෘෂීකරම දෙපාරතමේන්තු නිලධාරීන්ද මේ වනවිට එම සළඹ විශේෂය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.