ආනවිලුන්දාවේ කඩොලාන පැළ සිටුවයි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
ලෝක තෙත්බිම් දිනය ආනවිලුන්දාව රැම්සා අභය භූමිය තුළ වනජීවි රාජ්‍ය ඇමැති විමලවිර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2)  පැවැත්විණි.

තෙත් බිම් දිනය වෙනුවෙන් කඩොලාන සිටුවීම මෙවර තෙත් බිම් දිනයේ විශේෂිත සිදුවිමක් විය.

වනජීවි ඇමැතිවරයා මෙවර ලෝක තෙත් බිම් දිනයට ආනවිළුන්දාව රැම්සා අභය භූමියට පැමිණ තිබුණේ පසුගිය වසරේ  ඉස්සන් ටැංකි ඉදිකිරිම් වෙනුවෙන් පිරිසක් එහි පරිසරය එළිපෙහෙළි කිරිමේ සිද්ධියකින් පසුවය.

හෙක්ටයාර් 1997 ක වපසරියකින් යුත් මෙම සුවිශේෂ පරිසර පද්ධතිය තුළ පොකුණු ඉස්සන්  වගාව වෙනුවෙන් විනාශ කර තිබු අක්කර 40 කට ආසන්න භූමියක මේ වන විට කඩොලාන  සිටුවීම කිරිමට වනජීවි දෙපාර්තුමේන්තුව කටයුතු කර තිබේ.

ලෝක තෙත් බිම් දිනය වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම පාරිසරික වැඩසටහනේ දී දේශපාලඥයින්ට අමතරව පාසල් දරුවන් රාජ්‍ය නිළධාරින් හා වනජීවී නිළධාරින් කඩොලාන සිටුවීමට එක්වූහ.

වනජිවි රාජ්‍ය ඇමැති විමලවිර දිසානායක මහතාට අමතරව පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් වාරිමාර්ග හා ජල කළමනාකරණ රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පෙරේරා මහතා සමඟ පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති අශෝක ප්‍රියන්ත යන මහත්වරුන් එක්ව සිටියහ.

මෙම වැඩසටහන පුත්තලම දිස්ත්‍රික් වනජීවි සහකාර අධ්‍යක්ෂ එරංද ගමගේ මහතා ඇතුළු වන ජිවි නිළධාරින් සංවිධානය කර තිබුණි.