ඇකිරිය උඩඇළ විහාර මැදුර විනාශ මුඛයේ


 

(නිශාන්ත කුමාර)

ලුණූගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්  පෞරාණීක වටිනාකමකින් යුත් ඇකිරිය උඩ ඇළ විහාර මන්දිරයේ ගොඩනැගිල්ල හා එහි ඇති ඉපැරණි බිතු සිතුවම් විනාශ වෙමින්  පවතී.

වසර සිය ගණනක් පැරණී මෙම සිද්ධස්ථානය  ඒදා මෙදා තුර දශක ගණනාවක් තිස්සේ නිසි නඩත්තුවකට ලක් නොවීම මීට හේතුවයි.

මේ වන විට මෙම ස්ථානයේ  තිබූ විහාරස්ථානය ද වෙනත් ස්ථානයකට ගෙන ගොස් ඇත. 

සිංහල උලූ සෙවිලි කර ඉපැරණී ගෘහ නිර්මාණයට අනුව ඉදිකර ඇති මෙම විහාර මන්දිරය තුළ සුවිසල් බදු  පිළීම කීපයක් මෙන්ම තවත් මූර්ති , පිළිම වහන්සේලා මෙන්ම බිතු සිතුවම් රැසක් දැක ගන්නට ඇති අතර මේ වන විට ඒ සියල්ලම කැඩී බිදී විනාශ වෙමින් පවතින අයුරු දක්නට ලැබේ.

මෙහි පියස්ස, උළුවස්ස, මෙන්ම ගොඩනැගිල්ලේ සෙසු කොටස් ද ඉදිකර ඇත්තේ ඉපැරණි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව වන අතර මේ වන විට සියල්ල දිරාපත්ව විනාශ වෙමින් පවතී. මෙහි බිතු සිතුවම් සදහා යොදා ගෙන ඇති වර්ණ සංකලන අදටත් ඒලෙසම වෙනස් නොවී පවතී.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලුණුගල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයකු වන චන්දන සමන් කුමාර මහතා මෙසේ කීය.

ඇකිරිය උඩ ඇල විහාරය කියන්නේ වසර සිය ගණන් පැරණී පෞරාණීක පින් බිමක්. මේ තරම් වටිනා විහාර මන්දිරයක් මෙන්ම එහි පිහිටි සිතුවම් හා පිළීම වහන්සේලා මේ අයුරින් විනාශ වීම කණගාටුවට කරුණක්. නමුත්  මේ වන තුරුත් කිසිවෙකුත් මෙය සංරක්ෂණය කිරීමට හෝ විනාශයට පත් පිළීම හා සිතුවම් වෙනත් ස්ථානයකට ගෙන ගොස් ආරක්ෂා කිරීමටද පියවර ගෙන නැහැ.

අවුරුදු සිය ගණනක් ගතවෙලත් වැස්සට අව්වට හසුවෙලා  මේ පිළිමවල තියෙන වර්ණවත් වෙනස් වෙලා නැහැ. ඒ කියන්නේ මේ තැන කොච්චර වටිනවද කියන ඒක නෙවෙයිද ? මේක කොතරම් වටිනව උනත් ගොවි තැනින් ජීවත්වන ඇකිරිය ගමේ ජනතාවට  මේක ආරක්ෂා කරගන්නට පියස්සක්වත් ඉදිකරගන්නට වත්කමක්න නැහැ.