ඇඳිරිය ඉවත් කිරීමෙන් පසු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය එළවලු වලින් පිරී යයි


(කාංචන කුමාර ආරියදාස)
 
ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝ ලක්ෂ 50 කට අධික ප්‍රමාණයක් අද (26) ලැබීමත් සමඟ නගරයේ වාහන තදබදයක් මෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත  ක්‍රමවලින් ජනතාව ඉවත් වීමේ අවදානමක් පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
 
උදෑසන සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිරිපිට පිහිටි ඒ 9 ප්‍රධාන මාර්ගය දෙපස එළවළු රැගෙන ආ ලොරි රථ දිගු පෝලිම් දැකගැනීමට හැකි විය.
 
ආර්ථික මධ්‍යස්ථානය ඇතුළත ද සෑම මාර්ගයක්ම එළවළු ලොරි වලින් පිරී ඉතිරී ගොස් තිබිණි.
ගොවීන් විසින් රැගෙන ආ එළවළු බොහෝමයක  ඉතා මධ්‍යස්ථව මිල  පැවති අතර ඇතැම් එළවළු ඉහළ  මිලකට අලෙවි විය.
 
තවත් එළවළු වර්ග කීපයක් ඉතා පහළ මිල ගණන් යටතේ අලෙවි වීම සිදු වූ බව වෙළෙන්දෝ පවසති.
 
මේ අතර එළවළු රැගෙන ආ සහ මිලදී ගැනීමට පැමිණි බොහෝ දෙනා ආර්ථික මධ්‍යස්ථානය තුළ සේවය කරන බොහෝ දෙනා සොඛ්‍ය ආරක්ෂිත ක්‍රම වලින් ඉවත්ව කටයුතු කරන අයුරු අද  26 උදෑසන ආර්ථික මධ්‍යස්ථානයේ දී දැක ගැනීමට හැකිවිය

විනාඩි 5කට වරක් අර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය මගින් ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගී කරගෙන සෞඛ්‍ය ආරක්ෂිතව සිටින ලෙස උපදෙස් ලබා දීම සිදු කරති .එමෙන්ම අත සේදීම සඳහා සබන් ජලය තබා තිබුණද ඒවා කිසිවක් බොහෝ දෙනකු අනුගමනය නොකරන අයුරුද ආර්ථික මධ්‍යස්ථාන දී දැක ගැනීමට හැකි විය.

දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අංශ මගින් ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළුවන සෑම අයකුගේම ශරීර උෂ්ණත්වය මැන බැලීම සිදු කරදී එහෙත් ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළත වීමෙන් පසු වූ බොහෝ දෙනෙකු මුඛ ආවරණ ඉවත්කරමින් මීටරය දුර පරතරය තබා ගැනීමකින් තොරව සිටින අයුරු දැකීමට හැකිවිය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මෙදින වම්බටු මෑකරල් බණ්ඩක්කා කරවිල පතෝල ආදී  පහත රට එළවලු  සඳහා ඉහළ මිලක් ලැබෙන බව වෙළෙන්දෝ කියති. කැරට් කිලෝව රුපියල් 40 සිට 60 දක්වා මිලකට අලෙවි විය බෝංචි කිලෝවක් රුපියල් 200 ඉක්මවා අලෙවි වීම ද විශේෂත්වයකි  කින්නියා වලින් ලැබී තිබු මුරුංගා කිලෝව රු 125 කට අලවි විය .
 
සමස්තයක් ගත්කල ගොවියාටත් පාරිභෝගිකයාටත් මධ්‍යස්ථ මිලක එළවළු අලෙවි වන බව වෙළෙන්දෝ කියති.

දඹුල්ල නගර මධ්‍යයේ ද දැඩි වාහන තදබදයක් දැක ගැනීමට හැකි වූ අතර ඇතැම් බස් රථ වල මගින් ප්‍රමාණයට වඩා වැඩියෙන් පටවා ගෙන යන අයුරුද ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට දී දැක ගැනීමට හැකිවිය.