ඇළ මාර්ගය සංවර්ධනයට පොල් ගස් 1500 ක් විනාශ කරති


 

(ඩබ් ඒ පියතිලක)

මින්නේරිය වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින්, හිගුරක්ගොඩ බුද්ධයායේ ඇළ මාර්ගයක් සංවර්ධනය කිරිමට යැයි පවසමින් පොල් ගස්  1500ක්  පමණ ගලවා විනාශ කරමින් සිටින බව බුද්ධයාය පැරකුම් ගොවි සංවිධානයේ ගොවියෝ පවසති.

මේ පිළිබඳ අදහස් දක්වමින් හිගුරක්ගොඩ  බුද්ධයාය ඩී -5 ඇළ මාර්ගයේ පැරකුම් ගොවි සංවිධානයේ නියොජිත එම්.ජි.ලොකු බංඩා මෙසේ පැවසූවා ය.

‘මේක හෙන ගහන අපරාධයක් මේ වාරිමාර්ග නිලධාරින් කරන්නේ. ඇළ මාර්ගයක් සංවර්ධනය කරන්න ඕනි මුලින්. නමුත් දැන් කරන්නේ මුල සහ අග ඉතුරු කරලා මැදින් පටන් අරන් තමයි මේ අපේ ඇළ ඉවුරේ තියෙන පොල් ගස් 1500-2000ක් විතර විනාශ කරන්න හදන්නේ. මේවන කොට මාගේ පොල් ගස් 100ක් විතර ගලවා  විනාශ කරලා ඉවරයි. ඒ වාගේම අනිත් අයගෙත් පොල් ගස් මේවන විට 200ක් විතර ගලවලා දලා ඉවරයි. තව  බැකෝ 4ක් දාලා පොල් ගස් 1500-2000ක් විතර ගලවමින් තියෙන්නේ. අද වන විට පොල් ගෙඩිය මැනලා දෙන තත්වයට පත් වුණේ පොල් හිඟ නිසා කියලා.’

කරන සංවර්ධනයක්  කරන්න පොල් ගස් ටික කපන්නේ නැතුව. අපි  සිරිපාල ගම්ලත් ඇමැති තුමාත්  හමු වුණා. එත් වැඩක් වුනේ නෑ. මුළු හිගුරක්ගොඩටම පොල් දෙන්න පුළුවන් පොල් ගස් ටික තමයි මේ වාරිමාර්ග එකේ හරක් ටික ගලවලා විසි කරලා දානනේ. දෙයියනේ මේවා බලන්  ඉන්න බෑ. වහ ටිකක් කාලා මැරෙන්න හිතෙනවා. වැවක් සුද්ධ කරන්න කියපුවාම බැකෝ නෑ කියන වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද බැකෝ හතරක් දාලා පොල් ගස් ටික විනාශ කරනවා මේ පුදුම ලෝකයක්. නමුත් මේ තරම් විශාල පොල් ගස් ගොඩාක් ගලවලා ඉවත් කරන්නේ නැතුව ඒ සංවර්ධනය කරන්න කියලා ගම්වැසියන් ඉල්ලා සිටිනවා.’

මේ සම්බන්ධයෙන් මින්නේරිය වාරි ඉංජිනේරු අංජන අබේසිංහ මහතාගෙන් විමසීමක් කිරිමේදී මෙසේ පැවසීය.

‘මම දැන් ඔය කියන ස්ථානයට එන ගමන් ඉන්නේ .ඇවිත් බලලා උත්තරයක් දෙන්නම්.’

මද වේලාවකින් එම ස්ථානයට පැමිණි වාරිමාර්ග ඉංජිනේරුවරයා එම ස්ථානය නිරික්ෂණය කිරිමට පැමිණීමත් සමඟ ගොවින් ද එම ස්ථානයට පැමිණ දෙපිරිස අතර උණුසුම් තත්වයක් ඇති විය.

එහිදී ගොවියෝ කියා සිටියේ පොල්ගස් 2000ක් පමණ විනාශ කර කරන සංවර්ධනය වහාම නවත්වන ලෙසයි.  වාරිමාර්ග ඉංජිනේරුවරයා පවසා සිටියේ මේ පොල්ගස් සිටවලා තියෙන්නේ ඇළ රක්ෂිතයේ බැවින් පොල්ගස් ඉවත් කළ යුතු බවයි. කෙසේ නමුත් ගොවින්ගේන් පොල්ගස් ඉවත් කිරිමට එරෙහිව දැඩි විරෝධයක් දැක්විමෙන් පසු තාවකාලිකව එම සංවර්ධන කටයුත්ත නවතා දමන බව පවසා එම ස්ථානයෙන් වාරිමාර්ග ඉංජිනේරුවරයා පිටව ගියේය.

රක්ෂිතයක් තුළ  පොල් ගස් 2000ක් විතර විනාශ කර දමන්නේ නැතුව ඒවා රජයට පවරාගෙන හෝ මේවන විට රට තුළ පොල් අර්බුදයක් පවතින අවස්ථාවේ  එයින් ප්‍රයෝජන ලබා ගන්නවා මිස ඒවා ගලවා ඉවත් කිරිම ද කළ යුත්තේ යැයි බලධාරින්ගේන් ගොවියෝ විමසා සිටිති.