ඉඩම් දෙන්නැයි ඉල්ලා උපවාසයක් අරඹති


(කාංචන කුමාර ආරියදාස)

කඩිනමින් ඉඩම් ලබාදෙන ලෙස ඉල්ලා මොරගහකන්ද කළුගඟ ජලාශය ඉදිකිරීම සඳහා නිවාස සහ ඉඩම් ලබාදුන් අනු පවුල් 21 ක සාමාජිකයෝ පිරිසක් ලග්ගල නව නගරයේ පොලිසිය ඉදිරිපිට දී අද (27) අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළහ.

තම දෙමව්පියන්ගේ යටතේ නිවසක පදිංචිව සිටි තමන්ට ඉඩම් ලබා දෙන බවට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පොරොන්දු වුවද මෙතෙක් එම පොරොන්දු ඉටු කර නොමැති බව ඔවුහු පැවසූහ.
 
කෙසේ වෙතත් ඉඩමක් ලැබෙන තුරු දරුවන් සමග උපවාසයේ නිරත වන බව ඔවුහු කීහ.

 
අසරණ වූවන්ගේ සංවිධානයේ සභාපති කේ. ජී. රංජිත් මහතා කියා සිටියේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් මෙවැනි අනු  පවුල් රැසකට වන්දි සහ ඉඩම් ලබාදී තිබෙන බවත් ප්‍රදේශයේ පදිංචි නොමැති අයට පවා ඉඩම් සහ වන්දි ලබාදී තිබෙන බවත්ය.
 
මේ පිළිබඳව මොරගහකන්ද කළුගඟ ජලාශ ඉදි කිරීම්  ව්‍යාපෘති  නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩී .බී . විජේරත්න මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ කණ්ඩායමක් උපවාසයක් ආරම්භ කර ඇති බව තමන්ට වාර්තා වී තිබෙන බවත් ප්‍රදේශයේ අදාළ මහවැලි බලධාරීන් තවමත් තමන්ට ඒ පිළිබඳව දැනුම් දී නැති බවත් ය.

ඒ පිළිබඳව තමා සොයා බලන බවත් තවමත් තමන්ට ඒ පිළිබඳව සොයා බැලීමට ඉඩක් නොලැබුණු බවත් විජේරත්න මහතා වැඩිදුරටත් කීය.