ඉදුණු කෙසෙල් ගෙඩි කිලෝ 20,000 ක් වන අලින්ට රිලවුන්ට


(කාංචන කුමාර ආරියදාස)
 
දඹුල්ල දිගම්පතහ රක්ෂිතයේ  රිලවුන්ට සහ වන අලින්ට කෙසෙල් ගෙඩි තොග පිටින් ලබාදීම අද (25  ) දින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සැල් සේවකයන් කිහිප දෙනෙකු එක්ව  සිදු කරනු ලැබීය.
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  වෙළඳසැල් සේවකයෙකු වන සුදත්  ප්‍රියන්ත මහතා සහ ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකු එක්ව ආර්ථික මධ්‍යස්ථානයේ අලෙවි කිරීමට ගෙනවිත් තිබූ ඉදුණු කෙසෙල් ගෙඩි කිලෝ 20000ක් පමණ රුපියල් 30,000 ක මිලකට ලබාගෙන ඒවා රක්ෂිතයේ  වන අලින්ට සහ රිලවුන්ට ලබා දීම ඔවුන් විසින් සිදු කරනු ලැබූහ.
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  සිට කුඩා ලොරි රථ දෙකකින් දඹුල්ල මහ නගර සභාව මගින් පවත්වාගෙන යන කුණු කසල ප්‍රතිචක්‍රීයකරණ  කිරීමේ ස්ථානයේ රැඳී සිටින වන අලින්ට මේවා ලබා දුන් අතර එම ආසන්නයේ සිටි රිලවුන්ට ද කෙසෙල් ගෙඩි කන්  පිටින් ලබා දීම සිදු කරනු ලැබීය.

වන අලින් 10 දෙනෙකුට අධික පිරිසක් එම ස්ථානයට පැමිණ කෙසෙල් ගෙඩි භුක්තිවිදින අයුරු දැක ගැනීමට හැකිවිය.