ඉරාන නාවික හමුදාවේ නෞකා 3ක් කොළඹ වරායට සේන්දු වෙයි


අමල් වික්‍රමරත්න
 
ඉරාන නාවික හමුදාවට අයත් ‘බයන්ඩර්’, ‘නග්ඩි’ සහ ‘ටොන්බ්’ යන යුද නෞකා ත්‍රිත්වය අද (16) පුහුණු සහ සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් පිළිගන්නා ලදී.
 

නෞකාවන් වරායට පැමිණීමෙන් අනතුරුව ඒවායේ අණදෙන නිලධාරීන් වන කොමාණ්ඩර් බෙනාම් හොසෙයින්පෝ, කොමාණ්ඩර් මෙහ්දි අහමද්පෝ සමානි, කොමාණ්ඩර් මොහොමඩ් බාගර් රහ්නමා යන නිලධාරීන් බටහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවිය. 
 
එහිදී ඔවුන් සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
 
නෞකාවන් දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කරනු ලබන විවිධ සංස්කෘතික සංදර්ශණ, සුහද ක්‍රීඩා තරඟ ඇතුළු වැඩසටහන් රාශියක් සඳහා සහභාගී වීමට නියමිතව ඇත. 
 
සිව් දින නිල සංචාරය නිමා කරමින් එම නෞකාවන් 19වන දින දිවයිනෙන් පිටත්වීමට නියමිතය.