ඉස්සන් කොටුවට පැන්න හැළ කිඹුලා අල්ලා ගනී


(එච්.චන්දන)
 
පුත්තලම - මනතිව් ප්‍රදේශයේ ඉස්සෝ කොටුවකට පැන සිටි හැළ කිඹුලෙකු අල්ලා ගත් බව පුත්තලම වනජීවී පාලන ඒකකය කියයි.


එම ඉස්සන් කොටුවේ හිමිකරු විසින් වනජීවී නිළධාරින්ට කළ දැනුම් දීමකට අනුව එහි ගොස් විශාල පරිශ්‍රමයක් දරා මෙම හැළ කිඹුලා අල්ලා ගත් බවත් දින කිහිපයක් මෙම කිඹුලා ඉස්සන් කොටුවේ ඉස්සන් විශාල ප්‍රමාණයක් ගිල දමා ඇති බව වනජීවී නිලධරයෝ පවසති.


අඩි 6 ½ දිග වයස අවුරුදු 3 ක් පමණ විය හැකි මේ හැළ කිඹුලා ප්‍රදේශයේ පවතින දැඩි නියං තත්වය හේතුවෙන් ආහාර හා ජලය සොයා පිට ඇළ දිග පැමිණ මේ ඉස්සන් ගොවි පොළට පැමිණෙන්නට ඇති බවට වනජීවී නිළධාරින් සැකපළ කරයි.


මෙම අල්ලා ගත් කිඹුලා විල්පත්තු වනයට මුදා හරින බව පුත්තලම වනජීවී පාලන ඒකකය නිලධාරින් සඳහන් කරයි.


පුත්තලම දිස්ත්‍රික් වනජීවී සහකාර අධ්‍යක්ෂක කේ. චන්ද්‍රරත්න මහතාගේ උපදෙස් පරිදි පුත්තලම වනජීවී පාලන ඒකකය ස්ථාන භාර නිළධාරි වනජීවී අඩවි සහකාර එම්.ඒ. බණ්ඩාර මහතා ඇතුළු නිළධාරින් පිරිසක් මෙම කිඹුලා අල්ලා ගැනීමට කටයුතු කළේය.