උතුරුමැද පාසලක දරුවෝ පොල් අතු මඩුවල උගනිති



 

(උපුල් තම්මිට)
 
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව අධ්‍යාපන කොට්ඨාසයේ හිඹුටුගොල්ලෑව විදුහලේ සිසුන්ට ඉගෙනුමට අවශ්‍ය මූලික භෞතික පහසුකම් සැලසීමට අධ්‍යාපන බලධාරීන් අපොහොසත්ව ඇතැයි දරුවන්ගේ මව්පියවරු පවසති.
 
මෙම පාසලේ පන්ති 11ක් පවතින බවද, පන්ති 4ක සිසුන් තාවකාලිකව ඉදි කළ පොල් අතු සහ උලු සෙවිලි කළ මඩුවල ඉගෙනුම ලබන බවද ඔවුහු පෙන්වා දෙති. මේ හේතුවෙන් පාසැල් දරුවන්ගේ ආරක්ෂාවටද තර්ජන එල්ලවී ඇතැයි මව්පියවරු පවසති.
 
ගලෙන්බිඳුණුවැව අධ්‍යාපන කලාපයේ හොඳම පාසල ලෙස කීර්තියක් දිනා සිටින පාසලක් වුවද සිසුන්ට ඉගෙනුම් ක්‍රියාවලියට සාර්ථකව දායකවිය නොහැකි තත්වයක් පවතින බවද ඔවුහු කියති.
 
පාසලට අවශ්‍ය භෞතික පහසුකම් සැලසීමට රේඛීය අමාත්‍යාංශය හෝ අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන නොමැති බව පවසන ඔවුහු මීට ඉක්මන් විසඳුමක් ලබාදෙන්නැයි ඉල්ලා සිටිති.