එජා සාම සාධක රාජකාරියට යන යුද හමුදා සෙබලුන් පුහුණු අභ්‍යාස අරඹයි


                           

 

රොමේෂ් මධුෂංඛ

                

එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා රාජකාරිය සඳහා යාමට නියමිත යුද හමුදා සෙබලුන් හර් මතාන් ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාස තෙවන වරටත් දින 5 ක් පුරා යාපනයේ සිට මින්නේරිය යුද හමුදා පාබල පුහුණු මධ්‍යස්ථානය දක්වා ගමන් කිරීමට සංවිධානය කර ඇත.

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරිය යටතේ මාලි රාජ්‍යයේ ගාවෝ ප්‍රදේශයේ අත්‍යවශ්‍ය සේවා ප්‍රවාහනය කෙරෙන වාහන සඳහා ආරක්ෂාව සැපයීමේ ප්‍රවාහන රාජකාරි සඳහා යන යුද හමුදා සෙබලුන් වෙතට ප්‍රායෝගික පුහුණුවක් ලබා දීම මෙම හර් මතාන් ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ ප්‍රධාන අරමුණ වේ.

ඒ අනුව යාපනය මයිලඩි යුද හමුදා කඳවුරෙන් මෙම ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ආරම්භ වී පේදුරුතුඩුව, නගර් කෝවිල්, වෙත්තලිකේණි, පරන්තන්, විශ්වමඩු, පුදුකුඩිඉරිප්පු, මුලතිව්, නයාරු, වැලිඔය, පදවිය, පුල්මුඩේ, තාවුල්වැව, ගොමරන්කඩවල, ත්‍රීකුණාමලය, කින්නියා, මූතූර්, සේරුනුවර, කන්දකාඩු, පුලතිසිගම, පොලොන්නරුව, ගිරිතලේ හරහා මින්නේනරිය පාබල පුහුණු මධ්‍යස්ථානය වෙතට කිලෝමීටර් 457ක දුරක් ගෙවා මෙම පුහුණු අභ්‍යාසය හා රථගමන ගමන් කරනු ලබයි.

මෙම ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ගජබා රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් සන්නා සන්නද්ධ බළකාය, ඉංජිනේරු රෙජිමේන්තුව, සංඥා බළකාය, යාන්ත්‍රික බළකා රෙජිමේන්තුව, ඉංජිනේරු සේවා බළකාය , යුදහමුදා සේවා බළකාය , යුදහමුදා වෛද්‍ය බළකාය, යුදෝපකරණ බළකාය, විදුලි හා ඉංජිනේරු බළකාය, පොලිස් හේවා බළකාය සහ යුදහමුදා පොදු සේවා බළකායන් නියෝජනය වන පරිදි නිලධාරීන් 20 ක් සහ සෙසු නිලයින් ඇතුළත් සෙබලුන් 223 දෙනෙකු මෙම පුහුණුවට සහභාගී වෙයි.

මෙම අභ්‍යාශය වෙනුවෙන් යුදහමුදා සන්හාසන්නද්ධ රථ 6 ක්, බෆල් රථ 6ක් සහ භාණ්ඩ ප්‍රවාහන රථ 6ක් ඇතුලුව යුද හමුදා රථ 47 ක් සහභාගී වී ඇත.

අභ්‍යශය අතරතුර අත්‍යවශ්‍ය සේවා ප්‍රවාහනය කෙරෙන රථ වෙනුවෙන් ආරක්ෂාව සැපයීමේදී මුහුණ දිය හැකි සියලුම හදිසි අවස්ථාවන් වෙනුවෙන් මෙහිදී යුද හමුදා සෙබලුන් පුහුණුව ලබනු ඇත.

යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් පරිදි යුද හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂක ජනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දුගේ මගපෙන්වීම මත 58 සේනාංකයේ සේනංකාධිපති සහ හර් මතාන් ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාශයේ අධ්‍යක්ෂක මේජර් ජෙනරල් චම්පක රණවක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අධීක්ෂණයන් යටතේ මෙම පුහුණු අභ්‍යාසය සිදු කෙරෙනු ඇත.