එළවළු ගැන සුභ ආරංචියක්


 

(කාංචන කුමාර ආරියදාස)

යාපනය අර්ධද්වීපයේ එළවළු තොග දඹුල්ලට ලැබීමත් සමග එළවළු මිල ඉතා සීඝ්‍රයෙන් පහත වැටී ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති.

විශේෂයෙන් රුපියල් 350ක් 400ක් අතර පසුගිය කාලයේ අලෙවි වූ කැරට් කිලෝව යාපනයේ කැරට් ලැබිමත් සමග රුපියල් 65 ක් 80 දක්වා පහත වැටී ඇතැයි පවසති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත 28 වැනි දින උදෑසන සිටම විශාල එළවළු ප්‍රමාණයක් යාපනය අර්ධද්වීපයේ ලැබී ඇතැයි වෙළෙන්දෝ කියති.

රතු ලූනු ,මාළු මිරිස් ,කරවිල, බීට් , තක්කාලි ,වම්බටු , කැරට්, අමු මිරිස්, ආදී එළවළු වර්ග රැසක් ලැබුණු බවත් වෙළෙන්දෝ කියති.

ඒ අනුව යාපනයෙන් ලැබෙන කැරට් කිලෝව රුපියල් 65 සිට 80 දක්වා මිලකට අලෙවි වන අතර මාළු මිරිස් කිලෝවක් රුපියල් 290 ත් 300 ත් අතර මිලකට අලෙවි වෙයි.

පසුගියදා රුපියල් 400 ත් 450 ත් අතර මිලකට අලෙවි වූ රතුළුණු රුපියල් 250 ත් 300 ත් අතර දක්වා පහත වැටී තිබීම විශේෂත්වයකි, තක්කාලි කිලෝවක් රුපියල් 110 ද බීට්රූට් කිලෝවක් රුපියල් 180 ක මිලකට අලෙවි වෙයි.

කන්ද උඩරට ප්‍රදේශවලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන කැරට් කිලෝවක මිලද පහත වැටී තිබේ. ඒ අනුව කන්දඋඩරට ප්‍රදේශවලින් ලැබෙන කැරට් රුපියල් 75ක් 80 ත් අතර මිලකට අලෙවි වන බව පවසති.

නුවරඑළිය සිට දඹුල්ල දක්වා ‍ප්‍රවාහනය කිරීමට හෝ එම මුදල ප්‍රමාණවත්වත් නොවන බව පවසන නුවරඑළිය ගොවීන් කියා සිටින්නේ එක වරම වෙළඳ පොලේ එළවළු මිල පහත වැටීම නිසා තම නිෂ්පාදන වියදම හෝ පියවා ගැනීමට නොහැකි පත්වයකට තිබෙන බවය.

යාපනය ගොවීන් කියා සිටින්නේ තමන්ගේ එළවළු සඳහා ලැබෙන මිල යම් මට්ටමකින් ප්‍රමාණවත් බවයි.

තවදුරටත් යාපනයේ ප්‍රදේශයේ එළවළු අස්වැන්න විශාල වශයෙන් ලැබීමට නියමිත බවද දින පහක හයක පමණ කාලයක සිට එළවළු අස්වැන්න නෙළීලීම ආරම්භ වන නිසා ඉදිරි දින කීපයේම විශාල වශයෙන් එළවළු තොග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීමට නියමිත බව ද යාපනය සිට දඹුල්ලට පැමිණි ගොවීහු පවසති.