එළුවන්කුලමේ වසර සිය ගණනක් පැරණි ගස් ගිනි තබා වනසති


 

 

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වනාතවිල්ලුව පරණ එළුවන්කුලම  කුඹුරු තුළ ඇති දැවැන්ත වසර සිය ගණනක් පැරණි කුඹුක්, මී, නුග ඇතුළු ඇතුළු වෘක්ෂයන් කුඹුරු හිමියන් විසින් ගිනි තබා වනසා දමා ඇති බව පරිසර සංවිධාන චෝදනා එල්ල කරති.

පරිසරවේදින් පවසන්නේ පරණ එළුවන්කුලම හා තවුසමඩුව කුඹුරු හිමියන් වන සතුන් තම කුඹුරුවලට පැමිණීම වැළැක්වීමේ අරමුණින් මෙම දැවැන්ත සංහාරය සිදුකර ඇති බවයි.

වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පරණ එළුවන්කුලම ග්‍රාම නිලධාරි වසම තුළ පිහිටි මෙම කුඹුරු යාය අක්කර 500  කට වැඩි ප්‍රමාණයකින් යුක්තය. අදාල කුඹුරු යාය විල්පත්තුව ජාතික වන උද්‍යානයට  ඉතා ආසන්නයේ පිහිටා ඇති අතර එම පරිසර පද්ධතිය තුළ සැරිසරන පක්ෂීන් මෙම කුඹුරුවල ඇති දැවැන්ත ගස් තුළ බිජු දමන බවද ඔවුහු කියති.

දිගින් දිගටම නීතිවිරෝධීව සිදුකරන විනාශයට කිසිදු රජයේ නිලධාරියකු මේ වන විටත් කිසිදු අවධානයක් යොමු කර නැති බව ද මෙම කුඹුරු යායේ එක් කොටසකට කිසිදු නීත්‍යානුකුල අයිතියක් පවා තවමත් නොමැති බව පරිසරවේදීහු චෝදනා කරති .

මේ පිළිබදව කල විමසිමේදි පුත්තලම දිස්ත්‍රික් ගොවිජන සේවා සහකාර කොමසාරිස් පාලිත සේනාධිර මහතා ගෙන් කල විමසිමේදි පවසා සිටියේ මෙවැන්නකී.

“කිසිම ආකාරයකින් කුඹුරක හෝ වෙනත් තැනක මේ ආකාරයට ගස් ගිනි තැබීමටත් විනාශ කිරීමටත් කිසිම අයකුට නීතිමය අවසරයක් නැහැ. ඒ නිසා මම කඩිනමින් මේ තත්වය සොයා බලනවා’’ යැයි පැවසිය.

වනතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ මහතා මෙසේ කීය.

“පරිසර කමිටුවේ අවසරයකින්  තොරව කුඹුක් වගාවට හානි කියලා විනාශ කරන්න හැකියාවක් නැහැ" යැයි ඔහු පැවසිය.

මේ පිළිබදව කල විමසිමේදි පුත්තලම ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජීනේරු දිලිප හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ මෙවැන්නකී.

“එක් වතාවක් මේ කුඹුරු වලට ජලය ලබා දෙන නෙළුම් වැව ආසන්නයේ තිබු කුඹුක් ගසකට ගිනි තියලා මම ඒ පිළිබදව අවවාද කළා. අපි නැවත සොයා බලන්නම්. කිසිම ලෙසකින් මේ පරිසර පද්ධතිය විනාශ කරන්න ඉඩ නැහැ" යැයි ඔහු පැවසිය.